දේශීය

වර්ෂාව නොලැබුනොත් වැඩි වෙලාවක් කරන්ට් කපනවා

සිංහල අවුරුදු සමයට පෙර ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් දැනට විදුලිය කප්පාදු කරන පැය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. දෛනිකව විදුලි ඉල්ලුම ඉහළ ගියද වැසි නොලැබීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව එම ආයතනය පෙන්වා දෙයි.

දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියය දක්වා ඉහළ ගොස් ඇති අතර උත්සව සමය ආරම්භවීමත් සමග එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකිය. ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කොට මණ්ඩලයට සහයෝගය දක්වන ලෙසයි.

මේ අතර සෑම නිවසකම දිනපතා විදුලි බුබුළ දෙකක් නිවාදමා විදුලිය ඉතිරි කර ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇති අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව විවිධ අදහස් පළකරයි. මැති ඇමතිවරුන් සිය නිවාසවල සිය ගණන් විදුලි බුබුළු දල්වාගෙන සිටිමින් සාමාන්‍ය ජනතාව භාවිතා කරන විදුලි බුබුළු දෙක-තුනද නිවා දමන්නැයි ඉල්ලා සිටින බවත්, එසේ වුවහොත් තමන්ට සිදුවන්නේ දිනපතාම අඳුරේ සිටීමට බවත් ජනතාව පෙන්වා දෙයි.

2015 වසරෙන් පසු කිසිදු විදුලි ජනන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවූ අතර විදුලි අර්බුදයට එය මූලිකම හේතුව වී තිබේ. වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමට සාපෙක්ෂ්ව විදුලි ජනනය ඉහළ දැමිය යුතු වුවත් එය වසර කිහිපයක සිට ඇණහිට තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ 2015 වසරේ ඉදිකිරිම් ආරම්භ කිරීමට සූදානම් වූ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වන බවයි. විවිධ පාර්ශ්වයන්ගේ විරෝධතා නිසා එම බලාගාරය ඉදිකිරීමට නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීමේ අර්බුදයට මණ්ඩලය මුහුණ දී තිබේ.

මේ වනවිට මෙගාවොට් 300 ක අතිරික්ත ඉල්ලුමක් පවතින අතර සාම්පූර් බලාගාරය මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුක්ත ව්‍යාපෘතියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button