දේශීය

කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරීම නිසා විශාල පරිසර හානියක් – සැකකරුවන් අත්අඩංගුවට

බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් ඊයේ(21) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

කෙසෙලේගමු ඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගග දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බවයි වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්, මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා උපයෝගි කර ගත් උදලු කිහිපයක් සහ මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button