දේශීය

බොරැල්ල OICගේ මරණය – මහින්දානන්දගේ පුතා වෙනුවෙන් පොලිසිය ෆේස්බුක් පොස්ට් දැමූ පුද්ගලයන් අල්ලයි

පෙරේදා (09) මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූයේ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකු වන නවිඳු රත්නායක නමැත්තා විසින්ම බවත් එම රථය වෙනත් පුද්ගලයකු පැදවූ බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පුවත් පළ කළ පුද්ගලයින් අධිකරණය හමුවට කැඳවීමට කටයුතු කරන බවත් පොලිස් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

අදාළ ඩිෆෙන්ඩර් රථය වෙනත් පුද්ගලයකු පැදවූ බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් තැබූ පුද්ගලයින් 15 දෙනෙකුගේ විස්තර මේ වනවිට තමන් ලබාගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අනතුර සිදු කළ රථය පැදවූයේ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයා වන නවිඳු රත්නායක නමැත්තා විසින්ම බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇති බවත් එහි වීඩියෝ දර්ශන දැනට මාධ්‍ය වෙත නිකුත් කළ නොහැක්කේ ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත නිසා බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් අය එදින රාත්‍රී සමාජශාලා කිහිපයකටම ගොස් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා සිය රාජකාරි යතුරුපැදියෙන් සේවයට පැමිණෙද්දී දරුණු රිය අනතුරකට ලක්වූයේ පෙබරවාරි 24 වනදා අළුයමය. අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය ඔහුව යටකරගෙන ගොස් නවත්වන අයුරුත් ඉන් බැස පැමිණි පුද්ගලයකු අනතුරට ලක්වූ පුද්ගලයා දෙස බලා ආපසු වාහනයේ නැඟී පළායන අයුරුත් ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වී තිබිණි.

සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්වූයේ මෙම ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ද සිටීම නිසාය. ඔහු පොලිසියට භාරවූයේ අනතුරට පසුදින වන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද සහභාගී වූ, මාධ්‍යවේදීන් පිටතට යවා කරන ලද අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු හත් දෙනෙකුට ඇප නියම කෙරිණි. බන්ධනාගාරගත කෙරුනේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා පමණි.

අදාළ ඩිෆෙන්ඩර් රථය පදවාගෙන ගියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු පැතිර ගිය නමුත් මන්ත්‍රීවරයා දැඩිව අවධාරණය කළේ තම පුත්‍රයා ගමන් කර ඇත්තේ එම රථයේ පසුපස අසුනේ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button