ක්‍රීඩා

පෘඩන්ෂල් ලෝක කුසලානය 1975 – එංගලන්තය

ලෝක කුසලානයට තව දින 86 යි

ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවක් කියන්නෙ ක්‍රිකට් ලෝලීන්ට වෙනස්ම අත්දැකීමක්. 2019 ක්‍රිකට් ලෝක කුසලානයට දින ගණන් කරගෙන යන මේ ගමනේ තුන්වෙනි නැවතුමේ දී අපි කථාකරන්නෙ පළමු ලෝක එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාව ගැන.

ප්‍රථම එකදින ජාත්‍යන්තර තරග 18 ක් අවසානයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධානය වුණා. එහිදී ජයග්‍රාහකයන් ට පිරිනැමුනෙ පෘඩන්ෂල් කුසලානය.

එංගලන්තයේ ලන්ඩන් හි ලෝඩ්ස්, ලන්ඩන් හි ඕවල්, බර්මින්හැම් හි එජ්බැස්ටන්, ලීඩ්ස් හි හෙඩිංග්ලි, මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඞ්, නොටිංහැම් හි ටේ‍රන්ට් බ්‍රිජ් කියන ක්‍රීඩාංගන වල එක්දින තරග ඉතිහාසයේ 19 වන තරගයෙන් පටන් අරන් 33 වන තරගය දක්වා තරග 15ක් පැවැත් වුණා.

සියළුම තරග සඳහා එක් කණ්ඩායමකට පන්දු 06 පන්දුවාර 60 ලැබුණා වගේම සාම්ප්‍රදායික සුදු ඇදුමින් සැරසිලා රතු පැහැති පන්දුවෙන් තමයි තරග කළේ. තරග පැවැත්වුණෙත් දිවා කාලයේ විතරයි. මෙම තරගාවලිය සඳහා ටෙස්ට් වරම් හිමි ICC පූර්ණ සාමාජික රටවල් 06 සහ ටෙස්ට් වරම් අහිමි ICC සම සාමාජික රටවල් 02 ක් වශයෙන් රටවල් 08 ක් සහභාගී වුණා.

ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ ක්‍රම වේදයට තරග පැවැත්වුණ මෙම තරගාවලියේ මූලික වටයේ දී මේ කණ්ඩායම් 08 එක් ඛාණ්ඩයකට 04 බැගින් ඛාණ්ඩ දෙකකට බෙදලා එකිනෙකා අතර තරග පැවැත් වුණා. තරගාවලියට එක් වූ කණ්ඩායම් වුණේ,

A ඛාණ්ඩය

B ඛාණ්ඩය

එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් දූපත්
නවසීලන්තය ඔස්ට්‍රේලියාව
ඉන්දියාව පකිස්ථානය
නැගෙනහිර අප්‍රිකාව ශ්‍රී ලංකාව

ඒ වන විට ටෙස්ට් වරම් හිමිකරගෙන සිටි රටවල් 06 ට අමතරව ටෙස්ට් වරම් අහිමිව තිබූ ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාවත් මේ තරගාවලියට එක් වුණා. මූලික වටයේ දී මෙම කණ්ඩායම් අතර පවත්වපු තරග ගණන 12ක්.

තරඟාවලියේ පළමු තරගයේ දීම ලකුණු 202 කින් ඉන්දියාව පරාජය කළ එංගලන්තය තරගාවලියේ කණ්ඩායමක් ලකුණු අතින් ලද විශාලතම ජයග්‍රහණය හිමිකර ගත්තා. ඒ වගේම එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණය සමස්ථ ලෝක කුසලාන තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණ අතර 13 ස්ථානයේ රැදී තිබෙනවා.

මෙම මංගල තරගයේදීම එංගලන්ත ආරම්භක පිතිකරු ඩෙනිස් ඒමිස් ලකුණු 137 ක් (පන්දු 147, 4*18) ක් ලබා ගනිමින් මංගල ශතක ලාභියා ලෙස අමරණීය වාර්ථානකට ද දායක වුණා. එසේ ම ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් ඉනිම පුරා නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 36 (පන්දු 174, 4*1) ක් ලබා ගත්තා. මෙම තරගයේ දී කිත් ෆ්ලෙචර් එංගලන්තයටත් ශ්‍රිනිවාස් වෙන්කට්රාගවන් ඉන්දියාවටත් නායකත්වය ලබා දුන්නා.

මූලික වටයේ තරග 12 අවසානයේ තරග 07 ක ජය ලකුණු මත ද තරග 05 ක ජය කඩුලු මත ද තීරණය වී තිබුණා. මෙම තරග 12 අවසානයේ දී එක් ඛාණ්ඩයකින් කණ්ඩායම් 02 බැගින්,

  • බටහිර ඉන්දීය කොදෙව් දූපත්
  • ඕස්ට්‍රේලියාව
  • නවසීලන්තය
  • එංගලන්තය

යන කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරග ඒ තරගයේ දී තියුණු තරගයකින් අනතුරුව කඩුලු 04 කින් එංගලන්තය පැරදවූ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාග එංගලන්තය මෙම තරගයේ දී මුලින් පන්දුවට පහර දීලා රැස් කරගත්තෙ සිලළු දෙනා දැවී ලකුණු 93ක් පමණයි. ඒ ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාවත් ලකුණු 94 ක් ලබා ගන්නා විට කඩුලු 06ක් අහිමිකරගෙන තිබුණා.

එංගලන්තය මෙහිදී ලබා ගත් ලකුණු 93 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ගණන වන අතර සමස්ථ ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු එකතුවන් අතර 13 වන ස්ථානයේ තමයි තියෙන්නෙ. එංගලන්ත ඉනිම මේ විදිහට සුණු විසුණු කර දැමීමේ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන ඔස්ට්‍රේලියාවේ ගැරී ගිල්මෝර්ට.

ගිල්මෝර් තම ක්‍රිකට් ජීවිතයේ සහභාගී වෙලා තියෙන්නෙ ලෝක කුසලාන තරග දෙකකට විතරයි. මේ තමයි පළමු තරගය මේ තරගයේ දී ඔහු ලකුණු 14ට කඩුලු 06ක් දවා ගන්නවා. දෙවන හා අවසාන තරගය තමයි කොදෙව් කණ්ඩායමත් සමඟ මේ තරගාවලියේ පැවති අවසන් මහා තරගයග ඒ තරගයේදීත් ඔහු ලකුණු 48ට කඩුලු 05ක් දවා ගන්නවා.

දෙවන අවසන් පූර්ව තරගයේ දී කඩුලු 05කින් නවසීලන්තය පැරද වූ බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් මහා තරගයට ප්‍රවිශ්ඨ වුණා.

1975 ජුනි 21 වනදා ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ තමයි මංගල ‌ලෝක කුසලාන තරගමාලාවේ මංගල අවසන් මහා තරගය පැවැත්වුණේග අවසාන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පන්දුවාර 60 අවසානයේ දී කඩුලු 08 කට ලකුණු 291 ක් ලබා ගත්තා. ඔවුන්ගේ මුල් කඩුලු 03 ලකුණු 50 කට දැවී ගියත් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 149 ක සබඳතාවයක් පවත්වන්නට නායක ක්ලයිඞ් ලොයිඞ් (102) සහ රොහාන් කන්හායි (55) සමත් වුණා. ලකුණු 292 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 274 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් හා පන්දු රකින්නන් සමත් වුණා. තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නායක ඉයන් චැපල් (62) තනිවම සටනක යෙදුනත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඕස්ට්‍රේලියා ඉනිමේ දුවද්දී දැවී යාම් 05ක් වාර්ථා වීම මෙම පරාජයට බෙහෙවින් ම බලපෑවා.

අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් :291/08(60) ක්ලයිව් ලොයිඩ් 102, රොහාන් කන්හායි 55, කිත් බොයිස් 34, ගැරී ගිල්මෝර් 48/05, ජෙෆ් තොම්සන් 44/02
ඔස්ට්‍රේලියාව :274/10(58.4) ඉයන් චැපල් 62, ඇලන් ටර්නර් 40, ඩග් වෝල්ටර්ස් 35, කිත් බොයිස් 50/04

පිත්තෙන් ලකුණු 102 ක්ද, පන්දුවෙන් එක් කඩුල්ලක් ද දවා ගනිමින් කොදෙව්වන් ජයග්‍රහණය කරා මෙහෙය වූ ක්ලයිව් ලොයිඞ් අවසන් තරගයේ වීරයා සම්මානයට හිමිකම් කිව්වා. තරගාවලියේ වීරයා සම්මානයක් පිරිනැමුණෙ නැහැ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ තරග 04 දී ශතක දෙකක් සමගින් ලකුණු 333 ක් රැස් කරගත් නවසීලන්තයේ නවසීලන්තයේ ග්ලේන් ටර්නර්, තරග 02 දී කඩුලු 11ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ ගැරී ගිල්මෝර් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා.


සුධීර අයෙෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button