දේශීය

භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි

රාජ්‍ය ආයතනයකට ගොඩවැදී රාජකාරියක් කර ගැනීම ලෙහෙසි නැත. වරක් දෙවරක් නොව කිහිප වරක් රස්තියාදු වන්නට සිදුවන වග අතිශයෝක්තියක්ද නොවේ. රජයේ ආයතනයකින් රාජකාරියක් කර ගන්නට ගිය විට රාජ්‍ය සේවකයාගේ ‘රැස්පොට්’ ටික දැක ඇඟේ ලේ රත්වන එක සාමාන්‍ය තත්ත්වයකි. ඒ නිසාම බොහෝ අය රාජ්‍ය ආයතනයකට ගොඩවැදී රාජකාරියක් කර ගන්නට එතරම් කැමැති නැත.

නමුත් අත්‍යවශ්‍ය කටයුතුවලදී මේ රාජ්‍ය සේවය අප කොයි කාටත් මඟහැර යා නොහැකි දෙයකි. නවීන තාක්‍ෂණයට පින්සිදු වන්නට පමා වී හෝ දැන් දැන් රාජ්‍ය සේවයටත් තාක්‍ෂණය ළඟා වෙමින් තිබේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවටත් නව තාක්‍ෂණය පිවිසෙමින් තිබේ. උපත්, විවාහ හා මරණ සහතික ජාත්‍යන්තරව පිළිගත් මට්ටමින් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙහි මුල් පියවර ලෙස උප්පැන්න සහතික භාෂා තුනෙන්ම නිකුත් කිරීම මාර්තු මස 16දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සම්බන්ධව රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතාන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

උප්පැන්න, විවාහ හා මරණ සහතික භාෂා තුනෙන්ම නිකුත් කරන්න තීරණයක් ගත්තේ ඇයි?

අපි මුලින්ම උප්පැන්න සහතික භාෂා තුනෙන්ම ලබාදීමයි සිදු කරන්නේ. ඊට පස්සේ දෙවැනි අදියර යටතේ විවාහ හා මරණ සහතික නිකුත් කිරීම පිළිබඳ කටයුතු කරනවා.

උප්පැන්න සහතික භාෂා තුනෙන්ම නිකුත් කිරීමට හේතුව කුමක්ද?

මෙතෙක් කාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් තමයි උප්පැන්න නිකුත් කළේ. ඊට අස්සන් කළේ ප්‍රාදේශීය ලේකම්වරයායි. නමුත් අලුත් වැඩසටහන යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් තමයි සියලු උප්පැන්නවලට අස්සන යොදන්නේ. භාෂා තුනෙන්ම උප්පැන්න සකසලා එය ඔප කඩදාසියක තමයි මුද්‍රණය වන්නේ.

ඒ කියන්නේ සියලුම උප්පැන්න සහතික මේ ක්‍රමය යටතේ භාෂා තුනෙන්ම නිකුත් කරනවාද?

නෑ. මේ ක්‍රමය යටතේ 2019 ජනවාරි 01 වැනිදා සිට උපදින අයට පමණයි ක්‍රියාත්මක වෙන්නේ. 2019 ජනවාරිවලට පෙරාතුව උප්පැන්න ලබාගෙන සිටින අයට මේ නව ක්‍රමය වලංගු නෑ. ඒ අයගේ උප්පැන්න ආරක්‍ෂා කරලා සංරක්‍ෂණය කරන්න කටයුතු කරනවා. මේ සියලුම අයට විනාඩි පහක් පමණ කාලයක් තුළ උප්පැන්න සහතිකයක කොපි ලබාදීමට පියවර ගන්නවා.

රෝහලක උපදින දරුවකුට නව උප්පැන්න ලබා ගන්න ක්‍රමය පැහැදිලි කළොත්?

නෑ. මේ ක්‍රමවේදයේ ලොකු වෙනසක් නෑ. සෑම රෝහලකම රෙජිස්ට්‍රාර්වරයෙක් ඉන්නවා.

රට පුරාම එවැනි රෙජිස්ට්‍රාර්වරු 1705ක් ඉන්නවා. රෙජිස්ට්‍රාර්වරු රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත එවන තොරතුරු පදනම් කරගෙන අපි භාෂා තුනෙන් යුක්ත උප්පැන්න නිකුත් කරනවා. මීට අස්සන් තබන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල්. මෙහි තවත් සුවිශේෂී වැදගත්කමක් තමයි මෙය ජාත්‍යන්තරව පිළිගැනීම. මෙතෙක් කල් ලංකාවේ ඉඳන් පිටරට යන අයකුට උප්පැන්න ඉංග්‍රීසියට පරිවර්තනය කර ගන්න මුදල් වැය වුණා. 2019 ජනවාරි සිට උපදින දරුවන්ට ලැබෙන උප්පැන්න ජාත්‍යන්තර පිළිගත් එකක්. මේ උප්පැන්න කූට ලෙස සකසන්න බෑ. ආරක්‍ෂක විධි සහ උපක්‍රම රැසක් එහි අඩංගුයි. මෙය හොඳ ඩිප්ලෝමා සහතිකයක් වගේ උසස් තත්ත්වයේ උප්පැන්නයක්. ඒකත් ඉතා වැදගත්.

භාෂා තුනෙන්ම උප්පැන්න සහතිකය නිකුත් කිරීමට විශාල වියදමක් ගියාද?

නෑ. අපි මේ කටයුත්ත සඳහා අලුතින් හැත්තෑවක් පමණ බඳවා ගත්තා. ඒ අය පුහුණු කරලා වෙනම අංශයක් යටතට ගත්තා. රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ක්‍රියාත්මක වුණේ. ඇත්තටම මීට මුදල් වැය වුණේ නෑ. නවීන තාක්‍ෂණය අපි පාවිච්චියට ගත්තා.


ශිරාන් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button