දේශීය

ගුවනින් ගෙනා අක්මාව මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි

හදිසි අනතුරකින් මොළය මිය ගිය තිස් අට හැවිරිදි පුද්ගලයකුගේ අක්මාවක් රත්නපුර මහ රෝහලේ සිට ගුවන් මගින් මහනුවර මහ රෝහලට රැගෙන විත් නුවරඑළිය ප්‍රදේශයේ හතළිස් අට හැවිරිදි පුද්ගලයකුට සාර්ථකව බද්ධ කිරීම සිදු කල බව වාර්තා වනවා.

මෙවැනි අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට වකුගඩු රෝග පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව එක්ව දැනට මසකට පමණ පෙර ගිවිසුමකට එළඹුනා.

එම ගිවිසුමෙන් පසු මහනුවර මහ රෝහලට අවයවයක් ගුවනින් රැගෙන ආ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මේ අවයවයක් රත්නපුර සිට ගුවන් මගින් මහනුවරට රැගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය කෙරෙන අතර, අක්මාවක් විදේශ රටකදී බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ සියයකට වැඩි මුදලක් වැය වන නමුදු රජයේ රෝහලේ මේ සියලු කටයුතු නොමිලේ සිදු කරනු ලැබීම විශේෂත්වයක්.

රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් මොළය මිය යෑමට ලක්ව සිටි තිස් අට හැවිරිදි තරුණයකුගේ අවයව පරිත්‍යාග කිරීම සඳහා ඥාතීන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධාන කෙරුනා.

පසුගිය (07) මධ්‍යම රාත්‍රියේ රත්නපුර රෝහලට ගිය වෛද්‍ය කණ්ඩායම අක්මාව ඉවත් කිරීමේ සැත්කම සිදු කළ අතර, පසුදා පාන්දර වන විට ගුවන් මගින් මහනුවර මහ රෝහලට අක්මාව සහ වකුගඩු රැගෙන ඒම සිදු කෙරුනා.

රුධිර වාහිනි සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ, අවයව බද්ධ කිරීමේ ඒකකයේ සහාය සම්බන්ධීකාරක හෙද නිලධාරීන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් රත්නපුර රෝහල කරා ගිය අතර, අවයව ඉවත් කිරීමේ ශල්‍යකර්මයට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු සහ රත්නපුර මහ රෝහලේ වෛද්‍ය සහ කාර්ය මණ්ඩලය ඊට සහාය දක්වනු ලැබුවා.

මහනුවරට රැගෙන ආ අක්මාව මහනුවර මහ රෝහලේදීත් වකුගඩු දෙක පේරාදෙණිය සහ කොළඹ ජාතික රෝහලේදීත් රෝගීන් තිදෙනකුට සාර්ථකව බද්ධ කර තිබෙනවා.

මාස දෙකක් වැනි කාලයක් තුළ රත්නපුර මහ රෝහලෙන් අක්මාව ඇතුළු අවයව රැගෙන ආ තුන්වැනි අවස්ථාව මෙයයි.

මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ සහ විශේෂඥ වෛද්‍ය පී. කේ. හරිස්චන්ද්‍ර යන වෛද්‍යවරුන් විසින් අක්මාව අකර්මණ්‍යව ජීවිතය දැඩි අවදානම් තත්ත්වයේ පසු වූ රෝගියකුට අක්මාව සාර්ථකව බද්ධ කිරීම සිදු කෙරුණු අතර, මෙය මාස තුන හතරක කාලයක් තුළ මහනුවර මහ රෝහලේ සිදු කරනු ලැබූ හතර වැනි සාර්ථක අක්මා බද්ධයයි.

මහනුවර සහ රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරු ඇතුළු වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයටත්, ජනාධිපති කාර්ය සාධන බළකායටත්, ගුවන් හමුදාවටත්, අවයව ඉවත් කිරීම සහ බද්ධ කිරීම සඳහා දායක වූ සියලුම දෙනාටත්, අවයව ලබා දුන් තරුණයා ඇතුළු සැමටත් මහනුවර අවයව බද්ධ කිරීමේ ඒකකයේ ස්තුතිය පිරිනමන බව එම ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button