දේශීය

නකල්ස් ස්වාරක්ෂක කලාපයේ බෙලිගම රක්ෂිතය තුල චීන සමාගමක් විසින් කරනු ලබන මහා පරිමාණ වන විනාශය

- බලධාරීන්ගේ නිහඬ පිලිවෙතක්

මොරගහකන්ද ජලාශය නූතනයේ ඉදිවුණු රට මැද මහ සයුර ලෙස හඳුන්වන අතර එය අක්කර අඩි 660,000ක් පමණ වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5ක් වැයකොට අඹන් ගඟ හරස් කොට තැනූ මේ මහා ජලාශයේ ජල පෝෂක කලාපය දුම්බර වනාන්තරයයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මෙම මහා ජල පෝෂකයේ වපසරිය (දුම්බර වනාන්තරය = නකල්ස් වනාන්තරය) හෙක්ටයාර් 21,000ක් පමණ වේ. යුනෙස්කෝව 2010දී මෙම මහා වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කළේ ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වයේ ඇති අපූර්වත්වය නිසාය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම සඳහා Sinohydro corporation limited නැමැති ආයතනය විසින් ටෙන්ඩර ලබා ගෙන ඇත්තේ නකල්ස් වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපය තුල එම මාර්ගය ඉදි කිරීමටයි. එම ටෙන්ඩරයට අනුව නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් සකස් කර අදාල අවසරයන්ද ලබා ගෙන ඇත. එකී අදාල අවසරයන් ලබා දීමේදී මූලික වශයෙන් පරිසර සංරක්ෂණය සඳහා නිර්ණායක අති විශාල ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම අදාල නිර්ණායකයන් තුල නිසි පරිදි කානු සැකසීම, බෝක්කු දැමීම, පැති බැමි ඉදිකිරීම, තට්ටු ආකාරයෙන් බැමි සකස් කිරීම, ගලවා දමන ලද හා කපා දමන ලද ගස් නිසි පරිදි අදාල ස්ථාන වල ගොඩ ගැසීම, ගඟකට, ඇළකට හෝ ජල මාර්ගයකට කපන ලද පස් බැහැර නොකිරීම වැනි මුලික කෝන්දේසි සමගින් විශාල කොන්දේසි ප්‍රමාණයකට යටත්ව ඇත. එලෙස කොන්දේසි වලට යටත්ව ඉදි කරීම් කල යුතු ඉදිකිරීම් භූමිය නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුනේ අවසර ලබා දී ඇති 1.8 km ක් වන දුර ප්‍රමාණය ඉතාම ප්‍රථමික ආකාරයෙන් කිසිඳු තත්ත්ව සහතිකයක්, කිසිඳු පරිසර සංරක්ෂණ මුලධර්මයන්, මූලික ඉදිකිරීම් මුලධර්ම සහ සංකල්ප කිසිවක් අනුගමනය නොකරමින් විනාශකාරී ලෙස කපා දමා මහා පරිමාණ විනාශයක් නකල්ස් ස්වාරක්ෂක වනාන්තරයට සිදු කර ඇති බවයි.

මෙහි සුවිශේෂි කාරණය වන්නේ අවසරය ලබා දී ඇති 1.8 km ට වඩා 750 m කට වැඩි (1 km කට ආසන්න) දුරක් අනවසර ලෙස කපා දමා මාර්ගයක් සකස් කර ඇති බවයි. එකී මාර්ගය සකස් කිරීම සඳහා කිසියම්ම අවසරයක් කිසිඳු නියාමන ආයතනයකින් ලබා ගෙන නැති අතර ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හෝ වෙනත් කිසිඳු ආයතනයක් දැනුවත් කර නොමැත. මෙම වැඩිපුර කපා දමා ඇති 750 m කට වඩා වනාන්තරය විනාශ කිරීමට හේතුපාදක වී ඇති කාරණය වන්නේ කබරව ඔය හරහා ඉදිකිරීමට යෝජිත වූ පාලමට වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන 1 km ආසන්න දුරක් වනත්තරය විනාශ කරමින් ගොස් පාලම වෙනවට බෝක්කුවක් පමණක් කබරව ඔය හරහා දමමින් එකී ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල චීන සමාගමට ඇති අවශ්‍යතාවයයි.

කොන්ත්‍රාත්තුව ලබා ගන්නා ඕනෑම සමාගමක් තමන්ගේ කොන්ත්‍රාත්තු මුදල ලබා ගන්නේ අදාල ඉදිකිරිම සඳහා අවශ්‍ය නිර්දේශය පරිසර කළමනාකරණ සැලසුම් සහ අදාල ක්ෂේත්‍ර සටහන් වැනි සියලු සවිස්තර ලබා දීමෙන් අනතුරුවයි. ඒ අනුව, කබරව ඔය හරහා වන පාලම ඉදිකර මාර්ගය සකස් කිරීම මූලික සැලසුමේ අන්තර්ගතව තිබූ ප්‍රධාන කාරණයක් වන අතර, කිසිඳු අවසරයකින් තොරව බෙලිගම රක්ෂිතය තුල අති විශාල ගස් ප්‍රමාණයක්, පැළෑටි ප්‍රමාණයක් විනාශ කරමින් දැඩි පාංශු ඛාදනයක් සිදු වන ලෙස මාර්ගය සකස් කිරීමත්, ගඟ මැදට ගල් දමා ගඟට බාධා සිද්ධ වන ආකාරයෙන් කටයුතු සිද්ධ කිරීමත්, කබරව ඔයට පස් විශාල ලෙස මුදා හැරීම යන කාරණා සියල්ලත් ගත් කල්හි Shinohydro නැමැති මෙම ආයතනය කර ඇත්තේ මහා පරිමාණ බරපතල වරදකි. එය මෙරට මූලික පරිසර නීති කිහිපයක් උල්ලංඝනය කර ඇති බව සරලවම පෙනී යයි. මෙරට ඉදිවන සංවර්ධන ව්‍යපෘති සම්බන්ධව මූලික නීති විශාල ප්‍රමාණයක් බිඳ දමමින් මුල්‍ය අනුග්‍රහය ලබා දෙන සමාගම් වල පාරිසරික කොන්දේසි (environmental safeguards) සම්පුර්ණයෙන්ම බිඳ දමමින් චීන සමාගම සිදු කරන මේ ක්‍රියාවලිය පරිසරය වෙනුවෙන් කිසිඳු සැලකිල්ලක් නැති බව පෙන්වන ඉතා හොඳින් පෙන්නුම් කරයි. ඉවත් කරන ලද මහා පරිමාණ කළු ගල්, ගලවා දමන ලද අඩි 100ක් පමණ උස ගස් සහ පස් කියුබ් අති විශාල ප්‍රමාණයක් කබරව ඔයට කෙලින්ම මුදා හැර ඇත. මෙලෙස කිසිඳු අවසරයකින් තොරව හිතුමතේට හෙළි කර ඇති සම්පුර්ණ කොටසේ අවම වශයෙන් ගස් 2000 කට වැඩි ප්‍රමාණයක් හෙලා දමා ඇති බව බැලූ බැල්මට දක්නට ඇති අතර මෙම අනවසර කොටසේ කබරව ඔය හරහා වන බෝක්කුව ඉදිකිරීම සඳහා ගෙනත් දමා ඇති කොන්ක්‍රීට් කානු දෙකෙන් එක් කානුවක් මේ වන විට ගඟ දිගේ පහලට ගසා ගෙන ගොස් රැඳී ඇත. එමගින්ද ගඟට යම් තරමකට අවහිර කර ඇත.

මේ සම්බන්ධව අප කල සොයා බැලීම් වලදී හෙළි වුයේ මුල්‍ය දායකත්වය ලබා දෙන සමාගම් මෙන්ම මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ තවත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක මතය වන්නේ අදාල චීන සමාගම හිතුමතේ ඉදිකිරීම් සහ අනෙක් කටයුතු සිදු කරමින් සිටින බවත්, කිසිඳු පරිසර කළමනාකරණ සැලැස්මක් අනුගමනය නොකරමින් කිසිඳු නියාමන ආයතනයකට සවන් නොදෙන බවත්ය. අදාල නියාමන ආයතන විසින් සැබෑ නියාමනයක් හෝ සොයා බැලීමක් නොකරන බවත් සහ ඊට හේතුව ලෙස අදාල චීන සමාගමට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සහය අනවශ්‍යය ලෙස ලැබෙන බවත්ය. එමෙන්ම අපට වාර්ථා වූ තවත් කරුණක් වුයේ අදාල චීන සමාගම මෙම අනවසර හෙළි කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නොයෙක් රාජ්‍ය ආයතන වලටද පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බලපෑම් කර ඇති බවයි. එසේම, මේ සම්බන්ධ ගැටළු සොයා බැලීම සඳහා ඔහු විසින්ම ගොස් අදාල සමාගමෙන් වන්දි අය කරගන්නා බවත්, හෙලා ඇති 2000 කට අදික ගස් ප්‍රමාණය සියයකට ආසන්න පමණක් බවත් ප්‍රකාශ කර සිටීම මහත් විමතිය දනවන කාරුණකි. මන්ද යත්, අදාල කොටසේ හෙලා ඇති ගස් ප්‍රමාණය අවම වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයාගේ ගණනය මෙන් දස ගුණයක් වත් විය යුතුය.

සිදුකර ඇති මහා පරිමාණ විනාශයට වෙනුවට නැවත ගස් සිටුවීම හෝ වෙනත් තැනක කැලයක් සෑදීමට වඩා කල යුතු වන්නේ එවැනි වරදක් නැවත වරක් සිදු නොවීමට නීතිමය කටයුතු සිදු කිරීමයි. මූලික වශයෙන් මෙරට ජාතික පරිසර පනත, වන සංරක්ෂණ පනත, පාංශු සංරක්ෂණ පනත වැනි විශාල පනත් ප්‍රමාණයක් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අවශ්‍ය වන නීතිමය දඬුවම් ලබා දීමත්ය. තවද විශාල දඩ මුදලක් කොන්ත්‍රාත් සමාගමෙන් අය කර ගත යුතු බවත් අදාල ක්‍රියාවලිය සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් අපගේ ඉල්ලීම වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකී ක්‍රියාව නියාමනය කිරීමටත් ඒ සම්බන්ධව වගකීම ගැනීමත් සිදු කල යුතු බව අපි තරයේ ප්‍රකාශ කර සිටින අතර මන්ද යත් එක් දැව ගසක් හෙලු පමණින් අහිංසක ගැමියෙකු පවා අත් අඩංගුවට ගැනීමේ බලය සහ අත් අඩංගුවට ගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන අතර, මෙවන් මහා පරිමාණ අනවසර කැලෑ හෙළි කිරීම් චීන සමාගමක් විසින් සිදු කරන විට, එසේ නොකර සිටීම පොදුවේ රටක් වශයෙන් රටටත් පොදු මහා ජනතාවටත් වැරදි පූර්වාදර්ශයන් සැපයීමකි.

කපා ඉවත්කිරීමට සලකුණු කල විශාල ගස්

අදාල චීන සමාගම අවසරය ලැබුණු 1.8 km ක දුරත්, අනවසරයෙන් කපා ඇති 1km කට ආසන්න දුරත් නිරීක්ෂණය කිරීමේදී අපට මතුවූ විශාලම ගැටළුව වන්නේ පෙර සඳහන් කරන ලද පරිසර කළමනාකරණ සැලසුම් භාවිතා නොකිරීම හා අනුගමනය නොකිරීමත් සහ එය නියාමනය කිරීම සඳහා වගකීම පැවරී ඇති නියාමන ආයතන එය නියාමනය නොකිරීමත්ය. තවද එවැනි ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගණනින් කොන්ත්‍රාත් සමාගමකට ලබා දිය යුතු නොමැති අතර බැකෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කල හැකි ඕනෑම සාමාන්‍ය රියදුරුවරයෙකු මගින් අවම මුදලකට එම රාජකාරියම කරවා ගත හැකි බවත්ය. අන්තර්ජාතික සහ විදේශ සමාගමකට මෙලෙස ටෙන්ඩර කැඳවා, පරිසර අධ්‍යන වාර්තා සිදු කොට, පරිසර කළමනාකරණ සැලසුම් සකස් කොට ව්‍යාපෘතියක් ලබා දෙන්නේ පරිසර සංරක්ෂණය මූලික කරගෙන එකී සංවර්ධන කටයුත්ත කල යුතු නිසාවෙන් විනා මෙලෙස හිතුමතේ බැකෝ යන්ත්‍රයක් හුරුවීමට ක්‍රියාත්මක කරන අයෙකු මෙන් ඉතා දැඩි විනාශයක් සිදු කරමින්, වනාන්තරය මැදින් හිතුමනාපෙට මාර්ගයක් තැනීමට නොවේ. ඒ අනුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙකී අනවසර වන හෙළි කිරීමත්, අනවසර මාර්ග සැකසීමත්, අදාල චීන සමාගම මූලික පරිසර නීති ඇතුළු මෙරට පොදු නීති විශාල ප්‍රමාණයක් උල්ලංඝනය කිරීමත්, ඒ සම්බන්ධ අදාල නියාමන ආයතන ක්‍රියාත්මක නොවීමත් සහ මෙකි චීන සමාගමට එවැනි ක්‍රියාවලියක නිරත වීමට ශක්තියක් ලැබීමට පිටුපසින් සිටී දූෂිත රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන වගත්, අවසානයේ ඔවුන් කර ඇති විනාශයට ඔවුන්ට දැඩි දඬුවම් සහ විශාල වන්දියක් අයකර ගැනීමත්, එමගින් හෙලා ඇති වනාන්තර සහ ශාක මෙන් සිය ගුණයක වනාන්තර ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


පේශල පසන් කරුණාරත්න
මාධ්‍ය සම්බන්ධීකාරක
වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button