ක්‍රීඩා

කැන්ගරු බිමේ කුළුදුල් ජය සොයන සිංහයන්

අතීතයේ දී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට් පිටියේ කෙතරම් කරණම් ගැසුවද වර්තමානය වන විට දෙපිළම සිටින්නේ තරමක් පහත අඩියක බව පිළිගත යුතුය. ශ්‍රී ලංකාව 2018 වසර නිමා කරන්නේ නවසීලන්තයට එරෙහි පූර්ණ තරගාවලි පරාජයක් සමගින් වන අතර ඔස්ට්‍රේලියාව, ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය හොදින් කරමින් සිටිය ද, ටෙස්ට් තරගාවලියේ දී ඔවුන්ට අත්වූයේ ද පරාජයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රභලතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකාවට අවාසියක් වනවා සේම, ඔස්ට්‍රේලීයාවේ ස්ටිව් ස්මිත් හා ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක් වීමේ අවාසිය ඔස්ට්‍රේලියාව කාලයක් තිස්සේ අත්විදිමින් සිටී.

කෙසේ වෙතත් තරගාවලියට එක්වන සංචිත ද්විත්වය අධ්‍යයනය කිරීමේ දී ශ්‍රී ලංකාව සතුව වඩා ප්‍රභල පිතිකරණ ලැයිස්තුවක් සිටින බව පෙනේ. දිමුත් කරුණාරත්න (09), දිනේෂ් චන්දිමාල් (15) සහ කුසල් මෙන්ඩිස් (18) වශයෙන් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි පළමු පිතිකරුවන් 20 අතර සිටී. ඔස්ට්‍රේලියානු සංචිතයේ පළමු 20 අතර සිටින එකම පිතිකරුවා වන්නේ උස්මන් කවාජා (12) පමණි. නමුත් අවසන් වූ ඉන්දීය තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනාගත් එම තරගමාලාවේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මාකස් හැරිස් (තරග 04, ලකුණු 258) සහ ට්‍රවිස් හේඩ් පිළිබඳව ද නොසළකා හැරිය නොහැකි ය.

ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කෙතරම් දක්ෂතා දැක්වූවත් ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේ දී පරාජය කරන්නට නම් තවත් මහන්සි විය යුතුය. කොටින්ම අවසන් වූ නවසීලන්ත තරගාවලියේ දී ලකුණු අතර නොසිටි දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සිටින ප්‍රවීණයන් දෙදෙනා ලෙස සහ නායකයා සහ උප නායකයා ලෙස ලකුණු පුවරුවේ වැඩි වගකීමක් තමන්ගේ කරට ගත යුතු ය. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා, කණ්ඩායම ඔවුන්ගෙන් ඉල්ලා සිටින දෙය ලබා දීමට සූදානම් විය යුතුය.

නමුත් ප්‍රශ්නය තිබෙන්නේ එතැන නොවේ. ප්‍රශ්නය නම් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු පුවරුවට ඒකතු කරන ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීමට සමත් පන්දු යැවීමේ බලඇණියක් අප සතුව සිටිනවා ද යන්න යි. ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලඇණිය අපට වඩා බලවත් බව බැලූ බැල්මට පෙනේ. නේදන් ලයන් (කඩුළු 21), පැට් කමින්ස් (කඩුළු 14), ජොස් හෙස්ල්වුඩ් (කඩුළු 13) සහ මිචෙල් ස්ටාර්ක් (කඩුළු 13) ඉන්දීය තරගාවලියේදී ද හොදින් දක්ෂතා දැක් වූ අතර කලකට පසු කණ්ඩායමට ඒක වූ පීටර් සිඩ්ල් ද අමතක කළ නොහැකි ය. මාගේ මතය නම් ශ්‍රී ලංකාව මෙවර වඩාත් ප්‍රවේශම් විය යුත්තේ තුන්ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් ගෙනි. ඊට සාපේක්ෂව අවසන් වූ නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකාවේ වැඩිම කඩුළු ලාභියා වූ ලහිරු කුමාර දවාගෙන ඇත්තේ තරග 02 කදී කඩුළු 06ක් පමණි.

නමුත් ක්‍රිකට් තරගයක ජය පසුගිය දත්ත මත තීරණය කළ නොහැකි අතර තරගය හොදින් ම පාලනය කරන කණ්ඩායම තරගය ජය ගැනීම වළක්වාලීමට කිසිවෙකුට නොහැකි ය. ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතරින් දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් මීට පෙර ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් ක්‍රීඩා කර ඇති අතර මෙය අනෙක් සියලු ක්‍රීඩකයින්ගේ පළමු ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය යි. එමෙන් ම ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජා, ජොස් හෙස්ල්වුඩ්, නේදන් ලයන්, මිචෙල් ස්ටාර්ක් සහ පීටර් සිඩ්ල් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති නමුත් ඔස්ට්‍රේලියානු නායක ටිම් පේන් ඇතුළු අනෙක් සියලුම ක්‍රීඩකයන් ට ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව මුණ ගැසෙන්නේ ප්‍රථම වතාවට යි.

කෙසේ වෙතත් දැන් වෝන්-මුරලි කුසලානය තිබෙන්නේ ශ්‍රී ලංකාව සතුව ය. මෙම තරගාවලිය ජයගෙන ඔස්ට්‍රේලියාවේ දී ලබන කුළුදුල් ටෙස්ට් තරග ජයත් සමග තරගාවලි ජය ගෙන අලු ගසා දමා නැගී සිටින්නට ශ්‍රී ලංකාවට හැකි වේ දැයි අපි බලා සිටිමු.

තරග කාලසටහන

තෙදින පුහුණු තරගය – 2019.01.17 හෝබාර්ත් හී දී

පළමු ටෙස්ට් තරගය – 2019.01.24 බ්‍රිස්බේන් හී දී

දෙවන ටෙස්ට් තරගය – 2019.02.05. කැන්බරා හී දී

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර

ඔස්ට්‍රේලියා සංචිතය – ජෝ බර්න්ස්, මාර්කස් හැරිස්, උස්මන් කවාජා, විල් පොකුව්ස්කි, මැට් රැන්ෂෝව්, ලබුස්චෙන්ග්, ටිම් පේන් (නායක), ට්‍රවිස් හේඩ්, ජොස් හෙස්ල්වුඩ්, පැට් කමින්ස්, නේදන් ලයන්, මිචෙල් ස්ටාර්ක්, පීටර් සිඩ්ල්


සුධීර අයේෂ්මන්ත
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග ලේඛක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button