දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර තුළ “මූලික පහසුකම් හෝ නොමැති සිර ගෙයක්”

BBC සිංහල සේවය ඇසුරින්

විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ “මූලික පහසුකම් හෝ නොමැතිව” සිර කර සිටින බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

මේ අතර, පොදු සමා කාලයන් තුළ නාවික හමුදාවට භාර වූ පුද්ගලයන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව අසරණව සිටින පිරිසක් ද සිටින බවත් වාර්තා වේ.

මෙම පිරිසට අඳින්නට ඇත්තේ එක් කොට කලිසමක් බැගින් බවත්, උඩුකය වසා ගැනීමට කිසිවක් නොමැති බවත් එහි සිට නිදහස්ව පැමිණි පිරිසක් බීබීසී සිංහල සේවය සමග පැවසූහ.

ඔවුන්ට නිදා ගන්නට ඇත්තේ, සිර මැදිරියේ සිමෙන්ති පොළවේ බවත්, අවම වශයෙන් පැදුරක් හෝ ඇතිරිල්ලක් හෝ ලබා දී නොමැති බැවින් “ඉතා දුක්ඛිත ජිවිතයක්” ගත කරන බවත් අනාවරණය විය.

සිරභාරයේදී පුද්ගලයෙක් විඳින්නේ දඬුවමක්. ඒ දඬුවම අවසානයේ ඒ දඬුවම් කාලය තුළ මූලික අයිතිවාසිකම් ලබා නොදීම හේතුවෙන් සිදුවූ ශාරීරික ආබාධවලට ඔවුන් දඬුවම් කාලයෙන් අනතුරුවත් වන්දි ගෙවිය යුතුද?
– නීතීඥ අචලා සෙනෙවිරත්න

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ගෙන් විමසීමක් කළ අවස්ථාවේ බීබීසී සිංහල සේවයට සැලවූ කරුණු ඔහු ප්‍රතික්ෂේප නොකළේය.

“මෙය නාවික ‘චරිත ශෝධනාගාරයක්’, ශ්‍රී ලංකා නාවික පනතට අනුව විවිධ වැරදි හේතුවෙන් අත්අඩංගුවට පත් වූ අය මෙහි රඳවා තිබෙනවා,” යනුවෙන් ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

“1994 ජනවාරි 08 දිනැති නාවික රඳවා ගැනීමේ පනතේ ගැසට් නිවේදනය සහ නාවික හමුදාවේ නීති රෙගුලාසිවලට අනුව මෙම රඳවා ගැනීම් කර තිබෙනවා.”

මෙහි රඳවා සිටින පුද්ගලයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වග කිවයුතු බවත්, සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීමේ අතීත අත්දැකීම් ඇති බැවින් මෙසේ රඳවා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“පිළිගත හැකි තත්ත්වයක් නෙවෙයි”

“මෙය නාවික ‘චරිත ශෝධනාගාරයක්” – ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර / “පිළිගත හැකි තත්ත්වයක් නෙවෙයි” – නීතීඥ අචලා සෙනෙවිරත්න

රඳවාගෙන සිටින සෑම දෙනා ම ශ්‍රී ලංකා නාවික හමුදාවට දඩ මුදලක් ගෙවිය යුතු අයවන අතර, මුදල අය කර ගැනීම මිස සිර භාරයේ සිටින පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව නාවික හමුදාව සැලකිල්ලක් නොදක්වන බව සම්පූර්ණ දඩ මුදල් ගෙවා එතැනින් නිදහස්ව පැමිණි තැනැත්තෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

“එයාලට ඕන සල්ලි විතරයි. මේක හරි වැරදියි. අඩු ම තරමේ ගෙවීමේ ක්‍රමයක් හරි හඳුන්වල දීල මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ සලස්වන්න ඕන,” නාවික හමුදා ඉංජිනේරු පාඨමාලාවක් හදාරා අතරමැදදී හැර ගිය බව පිළිගත් එම තැනැත්තා ප්‍රකාශ කළේය. සිය නම හෙළි නොකරන මෙන් ඔහු ඉල්ලා සිටියේය.

නමුත්, ඊට පිළිතුරු දෙමින් ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ, මෙහි රඳවා සිටින 70 ක් පමණ වන රැඳවියන් විවිධ හේතු මත රඳවා ඇති අතර, දඩ මුදල් ගෙවීමට නියමිත අයත්, වෙනත් වැරදි සඳහා දඬුවම් විඳින අයත් ඒ අතර සිටින බවය. ඒ සියල්ලන් ම එසේ රඳවා ඇත්තේ නාවික හමුදා අනපනත්වලට අනුව බව ඔහු අවධාරණය කළේය.

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය

සතියකට එක දවසක් – විනාඩි 10 ක්

තමන්ට පවුලේ අයට හෝ වෙනත් අවශ්‍යතාවකට දුරකතන භාවිත කිරීමට අවස්ථාව සලසා ඇත්තේ එක් දිනක් පමණක් බවත්, ඒ හේතුවෙන් තමන්ට ඉන් මිදී යාමේ හැකියාව තවදුරටත් පමා වූ බවත් අදාළ රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස ලබා පැමිණි තැනැත්තෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

“සතියකට එක දවසක්, සෙනසුරාදා දවසේ විතරක් නිවෙස්වලට කතා කරන්න විනාඩි 10 ක් දෙනවා.”

“රන් හා සමාන” විනාඩි දහය

විනාඩි 10 ක කාලයෙන් පසුව අදාළ ජංගම දුරකතන සේප්පුවක දමන බවත්, නැවත හමුවන්නේ ඊළඟ සතියේ සෙනසුරාදා බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර, රැඳවියන්ගේ ඥාතීන්ට ඉරිදා දිනයේ පෙරවරු 8 සිට 12 දක්වා රැඳවියන් හමුවීමට අවස්ථාව උදා කර දී ඇති බැවින් සෙනසුරාදා දිනයේ දුරකතන ලබා දී අවශ්‍යතා දැනුම් දීමට අවකාශ සලසා ඇති බව පැවසීය.

“මේ මෑතක ඉඳලා මේ අයට හදිසි අවශ්‍යතාවක් ඇත්නම් වෙනත් දිනයකදී වුණත් දුරකතන පාවිච්චි කරන්න අවස්ථාව සලසා දී තියෙනවා.”

“රෝගීන්ට නිසි ප්‍රතිකාර නෑ”

කෙසේ වෙතත්, රඳවා සිටින පුද්ගලයන් පුනරුත්ථාපනයක් සිදු නොවන බවත්, සමහර පුද්ගලයන් දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙන අතර ශරීරයේ තුවාල හේතුවෙන් අධික අපහසුතාවකින් පෙළෙන බව ද මින් නිදහස්ව පැමිණි පුද්ගලයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

“මුදල් අය කර ගැනීමට මිනිස්සුන්ට මෙහෙම සලකන එක වැරදියි.”

කෙසේ වුවත්, සියලු ම අවශේෂ නීති මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටත් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් රැකීමට සියලුම ආයතන බැඳී ඇති බවත් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් නීතීඥ අචලා සෙනෙවිරත්න අවධාරණය කළාය.

රෝගීන්ට නිසි ප්‍රතිකාර නොලැබෙන්නේයැයි නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින්, “සිරභාරයේදී පුද්ගලයෙක් විඳින්නේ දඬුවමක්. ඒ දඬුවම අවසානයේ ඒ දඬුවම් කාලය තුළ මූලික අයිතිවාසිකම් ලබා නොදීම හේතුවෙන් සිදුවූ ශාරීරික ආබාධවලට ඔවුන් දඬුවම් කාලයෙන් අනතුරුවත් වන්දි ගෙවිය යුතු ද?” යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.

වින්දිතයන්ගේ පවුල්වල අයට තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට සුදුසු ආයතන ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඒවාට පැමිණිලි කිරීම මගින් සහනයක් ලබා ගත හැකිව ඇති බවත් නීතීඥ අචලා සෙනෙවිරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


BBC සිංහල සේවය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button