විශේෂාංග

ජනාධිපති අංකල් සිරිසේනට පහේ ළමයෙක් ලියපු ලියුම

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා හිටං හොරෙන්ම ලියුම අරං දිග ඇරියා. බැලින්නං මිනිහා ලියුම ලියල තියෙන්නේ අපේ ජනාධිපතිතුමාට.


ජනාධිපති අංකල් සිරිසේන වෙතටයි,

මේ පාර චන්දෙන් තේරෙන මන්ත්‍රීල ගණන දෙගුණ කරල තියන එක ගැන අපේ තාත්තා ඉන්නේ හරිම කේන්තියෙන්. එයා කියනව ආණ්ඩුවේ සල්ලි අපරාදෙලු. එයාට පිස්සුද මං දන්නේ නෑ හැම දේම අඩු පාඩු වෙලා තියෙන අපට මන්ත්‍රී අංකල්ල ටිකක් හරි යහමින් ඉන්න එක කොච්චර එකක්ද නේද? අපේ ගමේ පාරක් පාරක් ගානේ මන්ත්‍රීල හිටියම කාටද ආඩම්බර? ඒගොල්ලෝ සුරුස් බුරුස් ගාල කාර් බාර් වලින් යනකොට අපේ ගම කොච්චර ලස්සන වෙනවද?

මේගොල්ලන්ව ආංබාං කරන්න බර ගාණක් යනව කියල අපේ තාත්ත අම්මත් එක්ක කුටු කුටු ගානාව මං අහගෙන. අංකල් සිරිසේන ඕව ගණන් ගන්න එපා. අපේ තාත්තගේ හැටි එහෙම තමයි. මං මොනාහරි ඉල්ලුවමත් එයා කියන්නේ අපි සල්ලි ගස්වලින් කඩන්නෑ කියල. අංකල් සිරිසේනට පුළුවන්නේ ඔය මන්ත්‍රීලට යන වියදම් වලට සල්ලි කොහෙන් හරි රටකින් ඉල්ලගන්න. ඒ රටවල නායකයෝ අංකල් සිරිසේන එක්ක මාර ෆිට් කියල කවුද නොදන්නේ? බලාගෙන යනකොට එහෙම සල්ලි ඉල්ල ගන්නෙක ගස්වලින් කඩනවටත් වඩා ලේසියිනෙ.

ඒක නෙමෙයි අංකල් අපේ ඉස්කෝලෙ ඉන්න සෙකියුරිටි අංකල් හරිම කට සැර ආඩම්බරකාරයෙක්. ‘මිනිහ හිතන් ඉන්නෙ මන්තිරියෙක් කියලද දන්නේ නෑ’ කියල අපේ තාත්ත එයාට බනිනව මං අහගෙන. මං කියන්නේ දැන් බලපුවම ඔය අළුතින් එන මන්ත්‍රී අංකල් කෙනෙක් හදිසියකට අපේ ඉස්කෝලේ සිකියුරිටි වැඩට උනත් දාන්ඩ පුළුවන්නේ නේද අංකල්?

ජනාධිපති අංකල්, අපේ මල්ලිත් එක්ක හොරා පොලිස් සෙල්ලං කරනකොට මල්ලියා හැම වෙලේම කැමති පොලිස් වෙන්න. මාත් කැමති නෑ හොරා වෙන්න. හොරා වෙන්න කෙනෙක් නැති නිසා අපේ හොරා පොලිස් සෙල්ලම නැවතිලයි තියෙන්නේ. අංකල්ට බැරිද ඔය නිකං ඉන්න මන්ත්‍රී අංකල් කෙනෙක් අපේ ගෙවල් පැත්තේ එවන්න. එයාට පුළුවන්නේ හොරා වෙන්න. ටි.වී. එකේ එහෙම නිතරම මන්ත්‍රී අංකල්ලට හොරා හොරා කියන හින්ද එයා හොරා වෙලා සෙල්ලම් කරන්න කැමති වෙයි නේද අංකල්?

අනික අංකල් මේ දවස්වල අංකල්ලා කරන සංවර්ධනය දිහා බැලුවම රටේ එක මනුස්සයෙකුට එක මන්තිරියෙක් හිටියත් මදිනේ. හරියට නින්දෙන් ඇහැරිලා වගේ සුවල්ප සංවර්ධනයක්ද කරන්නේ. සතියට එක පාලම ගානේ විවුර්ත කරනවනේ. සමහර පාලම් බෝක්කු හදන්ඩත් ඉස්සල්ල විවුර්ත කරන එකනේ පුදුමෙ. හරි පුදුම කඩිසරකමක්නේ. අංකල්ලා දිහා බලල පුංචි අපට උනත් ඉගෙනගන්න කොච්චර දේවල් තියනවද නේද?

කවුරු කොහොම කිව්වත් මන්ත්‍රීල වැඩිකරන එක කොයි පැත්තෙන් බැලුවත් හොදයි අංකල්. චන්දෙට ඉල්ලන හැම මනුස්සයෙකුටම මන්ත්‍රීකමක් දෙන්ඩ පුලුවන්නම් කවුරුවත් ගහ මරා ගන්නෙත් නෑනේ. නෑ මං කියන්නේ මේ පුංචි අපිට උනත් දොස්තරලා ඉංජිනේරුවරු වෙනව කිය කිය ඉගෙන ගත්තට විභාග ගොඩ දාගන්න බැරිඋනොත් වැලේ වැල් නැතිවෙනවනේ. එතකොට ඉතිං යහමින් මන්ත්‍රීකම් තිබුනොත් හෙම ඒකකවත් එල්ලිල ගොඩයාගන්ඩ පුළුවන්නේ නේද අන්කල්?

ඉඳල ඉඳල අංකල්ලත් කරන්නේ මාර වැඩ තමයි. අංකල්ට කොහොම ස්තුති කරන්ඩද මන්ද මේ කරපු උදව්වට. ආයේ දෙකක් නෑ ඔය මන්ත්‍රීල රොත්ත ගමට ඇවිල්ල ගම ගොඩ දානවා සිකුරුයි.

මීට,

පහේ ළමයෙක්


ප.ලි.

අංකල් සිරිසේන… මේ ඊයේ පෙරේද ඔන්න මෙන්න මන්ත්‍රී වෙන්න ඉන්න අංකල් කෙනෙක් මට මගදි හම්බ උනා. එයා මාව දැක්ක ගමන් මාව වඩාගත්ත. ඊට පස්සේ එයා කිව්වා මාව ගෙදරටම වඩාගෙන ගිහින් ඇරලවන්නම් කියල. මං කිව්වා එයාට මාව බිම තියන්න, මට තාම චන්දෙත් නෑ කියල. ඒත් එයා ඇහුවේ නෑ. ඕං ඉතිං එයා කියපි, ඔය බබාට වැඩිය ලොකු ලොකු කට්ටිය ලොකු ලොකු ලොකු තැන් වලට වඩාගෙන ගිහිං එයාට ගොඩක් පුරුදුයි කියලා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button