සමාජ

සිංහරාජයේ අවසන් අලි ජෝඩුවෙන් එකෙක් අතුරුදන්

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ ඉතිරිව සිටි අවසන් තෙත් කලාපීය වන අලි දෙදෙනාගෙන් එක් අලියකු අතුරුදන් වී ඇතැයි ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

මේ අලියා වල්ලපට්ටා හෝ දැව ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් වන්නට ඇති බවට සැක පහළ වී ඇතැයිද උන්වහන්සේ කියා සිටිති.

ආනන්ද සාගර හිමියන් මෙසේ පැවැසුවේ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානය විසින් කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ ඊයේ (08දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

සිංහරාජ රක්ෂිතයේ වනාන්තරයේත් ඊට යාබදව පිහිටි රජවත්ත, කෝපිකෑල්ල ආදී ප්‍රදේශවලත් සැරිසැරූ මෙම වන අලින් දෙදෙනා ආහාර සොයමින් එකට ගැවසුණු අතර දැනට මසක පමණ කාලයක සිට එක් සද්දන්තයකු අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වෙන බව ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

මේ පිළිබඳව අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසූවිට ඔහු පැවැසුවේ සිංහරාජ රක්ෂිත වනාන්තරයේ සිටින අලින් දෙදෙනා එකිනෙකට දුරස්ව වෙනත් ප්‍රදේශවල කාලය ගත කළ අවස්ථාවන් ගැන වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත් අතුරුදන් වී ඇතැයි පැවැසෙන අලියා ගැන තොරතුරු සෙවීමට වනජීවී නිලධාරි කණ්ඩායමක් යොදවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


සපුමල් ජයසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button