දේශීය

පෞද්ගලික රෝහල් මාෆියාව

අපේ රටේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි බියකි. ඒ එක පැත්තකින් අති විශාල බිල්පත් සහ ඒවායේ තත්ත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ ගැටලූ නිසාය.

එම නිසා පෞද්ගලික රෝහල් සේවාවන් නියාමනය කිරීම හා එම සේවාවන්හි ගාස්තු පාලනය කිරීම සඳහා රජය ඉක්මනින් නව නීති සකස් කළ යුතු බව ජනතා ඉල්ලීමකි.

කොළඹ නගරයේ පෞද්ගලික රෝහල් බොහොමයක කාමර ගාස්තුව කොළඹ නගරයේ ඇති තරු පහේ සුපිරි හෝටලයක කාමරයක ගාස්තුවටත් වඩා වැඩිය. එය කොටස් කිහිපයකට කඩා තිබේ. කාමරය නවදහස් පන්සියයක් හෝ දස දහසකි. ඇඳ රෙදි ගාස්තුව, රෝහල් පරිපාලන ගාස්තු හා සෙසු ගාස්තු තවත් රුපියල් දස දහසක් හෝ පහළොස් දහසකි. මේ සියල්ල එක්කර සියයට පහළොවේ වැට් බද්ද එක්කළ විට දවසේ ගාස්තුව රුපියල් විසි දෙදහසේ සිට තිස් දහස අතරය. තරු පහේ හෝටලයක ගාස්තුව මීට වඩා අඩු අතර සුපිරි උදෑසන ආහාර වේලක්ද නොමිලේ හිමි වේ. රෝහල් කාමර ගාස්තුව මේ තරම් ඉහළ වුවද බොහෝ රෝහල්වල කාමරවල තත්ත්වය ඉතාම පැරණිය. වායු සමීකරණ ඇතැම් විට වැඩ නොකරයි. එසේ නොමැතිනම් ඒවායේ පරණකම නිසා නිරන්තරයෙන් ජලය කාමර තුළට වහනය වේ.

මීට අමතරව රෝගීන්ට ලබා දෙන ඖෂධ සඳහා සිතූ සිතූ මිල ගණන් අයකරන බවට චෝදනා තිබේ. වෛද්‍ය පරීක්ෂණ සේවා ගාස්තු ද විවිධය. යම් ලෙසකින් ජීවිත රක්ෂණයක් ඇති රෝගියෙක් නම් තවත් සියයට තිහක් පමණ කවර හෝ හේතු යොදා බිල්පත් වැඩි කරන ඇතැම් පෞද්ගලික රෝහල් තිබේ. එසේම තවත් විවිධ කාරණා සඳහා බිල් දමා ඇති ආකාරය අනුව පෙනී යන්නේ රෝහල් කාමරය තුළ නොමිලේ ලබා දී ඇත්තේ එහි නාන කාමරයේ ජලය පමණක් බවය.

එපමණක්ද නොවේ. වෛද්‍ය ගාස්තු ඒ ඒ වෛද්‍යවරයාගේ අභිමතය පරිදිය. ඒවා සඳහා කිසිදු පාලනයක් නැත. සැත්කම් ගාස්තු ද එලෙසය. මේ සියල්ල වහාම පාලනය කළ යුතුව තිබේ. මේවා සඳහා වහාම පාලන මිලක් ඇති කර ඒවා නිරන්තර පරීක්ෂාවටද ලක් කළ යුතු බව අපගේ අදහසයි.

ඇතැම් පෞද්ගලික රෝහල් රජයෙන් අනූනව අවුරුදු බද්දට රජයේ ඉඩම් තුට්ටු දෙකට ලබා ගෙන ඇත්තේ ආයෝජන මණ්ඩලයෙන් අවුරුදු දහයක ආදායම් බදු නිදහස් කිරීමක් සමගය. ඒ එම රෝහලේ මුළු ඇඳන් සංඛ්‍යාවෙන් සියයට දහයක ප‍්‍රමාණයක ඇඳන් ඇති වාට්ටුවක් දුප්පතුන් වෙනුවෙන් වෙන් කිරීමට හා දුප්පතුන්ට නොමිලේ බෙහෙත් දෙන බාහිර රෝගී අංශයක් ඇති කරන පොරොන්දුව මතය. එහෙත් මේ කිසිදු රෝහලක් එම සේවාවන් දුප්පත් අසරණයන් වෙනුවෙන් ලබාදී නොමැත. සෑම දෙයකටම වැඩ වර්ජන කරන සෞඛ්‍ය වෘත්තීය සමිති මේවා ගැන නිහඬය.

මේ පෞද්ගලික රෝහල් මාෆියාව බිඳ දමන්නට නම් රජයේ රෝහල් ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා අපේ රටේ සියලූම රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ පැය 24 පුරාම විවෘතව තැබිය යුතුය. එනම් රජයේ රෝහල්වල පැය විසිහතර පුරා වෛද්‍යවරුන් හා ඖෂධවේදීන් සිටිය යුතුය. එවිට පැය විසිහතරේ ඕනෑම මොහොතක රෝහලට එන රෝගියකුට ප‍්‍රතිකාර කළ හැකි විය යුතුය. එවිට ඖෂධ ලබාදී ආපසු යැවිය හැකි රෝගීන් රෝහල්වලට නේවාසිකව ඇතුළත් කර ගැනීමට අවශ්‍ය නැත. අද සිදුවන්නේ සවස හතරෙන් පසු රජයේ රෝහලකට එන සියලූ දෙනා රෝහලේ නවතා ගැනීමය. එම නිසා නිසි අවධානය ලබාදිය යුතු ජීවිත අවදානම ඇති රෝගීන් වෙත නිසි සේවාවක් ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලයට අපහසුය.

රජයේ රෝහලේ පැය 24 පුරා සේවය ලබා දෙන්නේ නම් රෝගීන්ට පෞද්ගලික අංශයට යෑමට අවශ්‍ය නැත. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සඳහා පැය හයක සේවා කාලය බැගින් සේවා මුර ක‍්‍රමයක් ලබා දිය යුතු බව අපගේ අදහසයි. එම පැය හයක කාලය රෝහලේ රැුඳී සිටීම අනිවාර්ය කර එම රාජකාරි නිසි පරිදි සිදු කරනවා දැයි පරීක්ෂාව සඳහා පැය 24 පුරා සේවය කරන පරීක්ෂා කිරීමේ ඒකකයක් ස්ථාපිත කළ යුතුය.

තම මුළු ජීවිතයම අසරණ රෝගීන් වෙනුවෙන් කැප කරන වෛද්‍යවරුන් අපේ රටේ ඕනෑ තරම් සිටිති. එහෙත් ඒ අතරේ ඇතැම් වෛද්‍යවරු සතියකට සේවය කරන්නේ දින දෙකකි. එහෙත් වැටුප්, අතිකාල හා සෙසු දීමනා සමග අති විශාල වැටුපක් මේ සියලූ වෛද්‍යවරු ලබා ගනිති. එසේ වැටුප් ලබා ගත්තාට කමක් නැත. එහෙත් ඊට සරිලන සේවය මහජනතාවට ලබා දිය යුතුය.

ප‍්‍රධාන පෙළේ රජයේ රෝහල් රැසක බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සිටිය ද රාජකාරී කටයුතු සිදු කරන්නේ ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණි. සෙසු පිරිස පෞද්ගලික වෛද්‍ය සායනවල හෝ පෞද්ගලික රෝහල්වලය.

රජයේ රෝහල්වල සැත්කම් හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනවල මාස ගණන් සිටින්නට සිදුවේ. රජයේ රෝහල්වල බොහෝ විට යන්ත‍්‍ර සූත‍්‍ර වැඩ කරන්නේ පැය අටකි. ඊට හේතුව සේවකයන් බොහෝ විට සාමාන්‍යයෙන් සේවය කරන්නේ පැය අටක් වීම නිසාය. මේවා පස් වසරක වගකීම් සහතිකය සහිත අති නවීන යන්ත‍්‍ර සූත‍්‍රය. එනම් පස් වසරක් යන තුරු පැය 24 පුරාම වැඩ කළත් ඒවා කැඩුණු විට අලූත්වැඩියා කෙරෙන්නේ නොමිලේය. එම නිසා සේවා මුර ක‍්‍රමයට මේවා සේවකයන් යොදවා පැය 24 පුරා ජනතා සේවයට යෙදවිය යුතුය. එහෙත් පෞද්ගලික රෝහල්වල පැය විසිහතර පුරාම එම යන්ත‍්‍ර සූත‍්‍ර වලින් වැඩ ගනී. රජයේ රෝහල්වල රාත‍්‍රී සේවා මුර සියලූම සෞඛ්‍ය සේවාවන්ට අනිවාර්ය කළ විට දැනට ඇති පොරොත්තු ලේඛන සියල්ල අවසන් වනු ඇත. පෞද්ගලික රෝහල් පෝෂණය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජය දැඩි පියවරක් ගන්නේ නම් ජනතාව ද ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත. එවැනි ජනතාවාදී පියවර ගන්නට මේ සුදුසුම කාලය බව අපගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button