ක්‍රීඩා

2014 දී ලෝක ශූරයන් වූ ලංකාවට මීළඟ විස්සයි-20 ලෝක කුසලානයට බාධක

2020 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව, 2014 වර්ෂයේදී එම ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ශ්‍රී ලංකාවට පහළින් ජාත්‍යන්තර ශේ‍ර්ණිගත ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශයටද අහිමිවී ඇත.

මේ බව නිල වශයෙන් ඊයේ (1දා) ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් සඳහන් කර ඇත්තේ මේ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් දෙකට සුපිරි කණ්ඩායම් -12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය,

හොංකොං, අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සමඟ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට සහභාගි වීමට නියමිතව ඇති බවයි. මෙම සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගාවලියේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 සුපිරි ‍ෙදාළහේ වටයට පිවිසෙනු ඇත. තවද එළැඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා සිට දෙසැම්බර් මස 15 දක්වා මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

තවද විස්සයි – 20 ලෝක කුසලාන තරග සැලැස්මට අනුව පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය යන ජාත්‍යන්තර විස්සයි-20 ශේ‍ර්ණිගත කිරීම්හි

පළමු ස්ථාන 8 හිමිකරගෙන ඇති කණ්ඩායම් සෘජුවම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි – 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවීම තරමක් බලාපොරොත්තු කඩවීමක් බවත් තම කණ්ඩායම එම තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මාලිංග “සුපිරි 12 වටය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීම සම්බන්ධයෙන් කනස්සල්ලක් තිබෙනවා. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනු ඇති බව මා විශ්වාස කරනවා.

ලෝක කුසලාන අවසාන මහා තරග 3කට ක්‍රීඩා කරමින් එක් තරගයක් ජයගෙන ලෝක ශූරයන් බවට පත් වූ කණ්ඩායමක් සුපිරි කණ්ඩායම් 8 අතර සිටිය යුතු බව බොහෝ දෙනා සිතන කරුණක්. කෙසේ නමුත් ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන සුපිරි කණ්ඩායම් හා සුදුසුකම් ලබා විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම අපගේ අරමුණයි. අපට ඉතා දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා. අවශ්‍ය වන්නේ නිසි අවස්ථාවේදී ඔවුන් ක්‍රියාත්මක වීම පමණයි. කෙසේ වෙතත් අභියෝගයට සාර්ථකව මුහුණදෙමින් එම තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අප සූදානම්” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

තවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් “සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හොඳින් නිමා කරමින් සුපිරි කණ්ඩායම් 12 වටය සඳහා අපට සුදුසුකම් ලබා ගත හැකි වේ යැයි මම විශ්වාස කරනවා. හොඳින් ක්‍රීඩා කරන දිනවලදී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව බංග්ලාදේශය සතු වෙනවා. එම නිසා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ඉදිරියට යෑමේ අවස්ථාව අපට අහිමි වීමට කිසිදු හේතුවක් නැහැ. ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අප ජයගත්තා. අපගේ විස්සයි – 20 ක්‍රීඩා රටාවේ දක්ෂතාව ගැන ඉතා ඉහළ විශ්වාසයක් ගොඩනැඟීමට එම ජයග්‍රහණය හේතු වුණා.” යනුවෙන් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button