ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ මඬින්න ඉන්දියාවේ සහාය

බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවන තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා පැවැත්වුණු ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවයි.

පසුගියදා පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ නිල හමුවට ශ්‍රී ලංකාවෙන් එක් වූ දූත කණ්ඩායමෙහි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරය අතරතුරදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ වංචාව තුරන් කිරීමට ඉන්දීය සහාය ලබා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු වූ බවයි.

“අගමැතිතුමාත් මමත් ඉන්දීය අගමැතිතුමාගෙන් ඒ ගැන ඉල්ලීමක් කළා. මොකද ඉන්දියාව තමයි තරග පාවාදීමේ හොරකම් බොහොමයක් ඇල්ලුවේ. ඉන්දියාවේ තියෙනවා සී.බී.අයි කියලා (Central Bureau of Investigation – CBI) ආයතනයක්. එම ආයතනය තරග පාවදීම් ගැන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගත්තා. ඒ හරහා බොහෝ අයට තරග තහනම් පවා පැනවුණා. ඒ අනුව ඉන්දියාවේ එම පරිණතබව අපිටත් ලබා දෙන ලෙස අපි ඉන්දීය අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදීම පැය ගාණක් ඇතුළත ඉන්දීය අගමැතිතුමා ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට මාව යොමු කළා.

එහිදී මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් අර්බුදය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක යෙදුණු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button