දේශීය

වන අලි රකින්න තුවක්කු 2568ක් ගෙන්වයි

අලි මිනිස් ගැටුම්වලට හා වන අලි, ඇතුන් අනවසරයෙන් දඩයම් කරන්නන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම සඳහා වනජීවී ආරක්ෂක නිලධාරින්ට රුසියාවේ නිෂ්පාදිත ඒ.කේ 47 තුවක්කු ලබා දීම සඳහා රුපියල් මිලියන 47ක් වැයකොට අදාළ වර්ගයේ තුවක්කු 2568ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී තිරසර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ගිනි අවි අඩුපාඩුව නිසා ඇතුම් වනජීවී ආරක්ෂක නිලධාරින් අලි මිනිස් ගැටුම් සහ අනවසර දඩයම්කරුවන්ගෙන් වන අලි ඇතුන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බවය. එම තත්ත්වය වැළැක්වීම සඳහා මේ වසර අවසන් වීමට පෙර රුපියල් මිලියන 24ක් වටිනා ගිනි අවි 1500ක් මිලදී ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ අංශයන් සඳහා මේ වනවිට සේවකයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගත යුතුව ඇති බවද ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම සේවකයන් බඳවා නොගතහොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී දැඩි අපහසුතාවකට පත්විය හැකි බවද ප්‍රකාශ කළේය.

අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා මේ වන විට ඉදිකොට ඇති කි.මී 2651ක් දිග විදුලි වැට කි.මී 4349ක් දක්වා දිගු කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය වසර 05 ක කාලය තුළ අලි මිනිස් ගැටුම් වලින් මිනිසුන් 375 දෙනෙකු මිය ගොස් වන අලි ඇතුන් 1177ක්ද මිය ගොස් තිබේ.


රංජිත් ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button