දේශීය

දුප්පතුන්ගේ ඇස් කණ්ණාඩියත් විකුණන් කෑ ලැජ්ජා නැති ලේකම්ලා

දෑස් පෙනීමේ දුර්වලතාවක් ඇති පුද්ගලයන්ට පෙනීම ලබාදීම සඳහා රජයේ වියදමින් පිරිනැමෙන ඇස් කණ්ණාඩිවලින් දෑස් පෙනෙනවුන් ගසාකෑම ආගම ධර්මයට මෙන්ම සදාචාරයටද පටහැනි දඬුවම් ලැබිය යුතු ක්‍රියාවකි. එවැනි පහත් ක්‍රියාවන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ සිදු වී ඇතැයි කිවහොත් ඔබ මවිතයට පත්වනු නොඅනුමානය. එහෙත් එවැනි ක්‍රියාවන් සිදු වී ඇති බව මෙසේ සටහන් කරන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද විශේෂ විමර්ශනයක් ඇසුරෙනි.

සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ චක්‍රලේඛයන්ට අනුව දෑස් පෙනීමේ දුර්වලතාවන්ගෙන් පෙළෙන්නන්ට ඇස් කණ්ණාඩි ලබා දිය යුත්තේ මාසික ආදායම රුපියල් 6,000කට වඩා අඩු ආදායම්ලාභීන්ටය. එහෙත් අමාත්‍යාංශය යටතේ දිවයින පුරා සමාජසේවා නිලධාරි ජාලයත්, පරිපාලන යාන්ත්‍රණයත් තිබියදී ඒවා නොසලකා හරිමින් කටයුතු කොට ඇත්තේ මුදල් වංචා කිරීමට, දේශපාලන පක්‍ෂ සහ පුද්ගලයන් ජනප්‍රිය කිරීමට නම් එවැනි පුද්ගලයන් හැඳින්විය යුත්තේ මහජන දේපළ සූරා කෑ කාපාළුවන් ලෙසිනි.

සමීක්‍ෂණයක් නොකොට ළඟ පෙනෙන ඇස් කණ්ණාඩි මිලදී ගැනීම.

දෑස් පෙනීමේ දුර්වලතාවන් සහිත පුද්ගලයන් පිළිබඳ කිසිදු විමර්ශනයක් නොකොට ළඟ පෙනෙන ඇස් කණ්ණාඩි 121,786ක් මිලදී ගැනීමෙන් හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කර ඇත්තේ එසේ මෙසේ වරදක් නොවේ. එම ඇස් කණ්ණාඩිද ලබාගෙන තිබුණේ කිසිදු ප්‍රමිතියකින් තොරවය. එවැනි ඇස් කණ්ණාඩි ලබා දීමෙන් ඒවා භාවිත කරන පුද්ගලයන්ට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය නොසලකා කටයුතු කිරීමෙන් අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් කටයුතු කර ඇත්තේ “තොපේ ඇස් පොට්ට වුවත් අපේ සාක්කු පිරෙනවා නම්” යැයි දුෂ්ට චේතනාවෙන් විය යුතුය.

ඇස් කණ්ණාඩි ලබා දුන් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම.

2015 වසරේ ජුනි මාසයේ මොනරාගල මහ විදුහලේදී ඇස් කණ්ණාඩි 1,000ක් බෙදා දුන් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් 150,000ක මුදලක් ජේ. ඒ. ජයසිංහ ඔප්ටිකල්ස් ආයතනය වෙත ගෙවා තිබුණු අතර එම ගෙවීම් වවුචරයේ අමුණා තිබුණේ ඇස් කණ්ණාඩි ලබාගත් අය නොවන බව තහවුරු වී තිබිණි. මොනරාගල මූලස්ථාන සමාජ සේවා නිලධාරි ඒ. ඒ. සේරසිංහ මහතා විගණනයට තහවුරු කර තිබුණේ ඇස් කණ්ණාඩි ලබා දුන් බවට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් නම් ඇතුළත් පුද්ගලයන් සිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ නොමැති බවත්, තමාගේ අත්සන සහ නිල මුද්‍රාව කූඨ ලෙස යොදාගෙන තිබූ බවත්ය. 2015 ජුනි මාසයේ හෝ ඊට ආසන්න වෙනත් මාසවලදී මොනරාගල මහානාම විද්‍යාලයේ අඩු ආදායම්ලාභීන්ට කිසිදු අක්‍ෂි සායනයක් පවත්වා නොතිබූ බවට එහි විදුහල්පතිවරයාද විගණනයට සනාථ කර තිබිණි.

2014 සැප්තැම්බර් මාසයේදී බණ්ඩාරවෙල ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අක්‍ෂි සායනයක් පවත්වා රුපියල් 150,000ක් වටිනා ඇස් කණ්ණාඩි 1,000ක් බෙදා දුන් බවට ජේ. ඒ. ජයසිංහ ඔප්ටිකල්ස් ආයතනයෙන් ව්‍යාජ රිසිට් පතක් ලබාගෙන තිබුණද එවැනි අක්‍ෂි සායනයක් හෝ වෙනත් ඇස් කණ්ණාඩි බෙදා දීමක් සිදු නොවූ බවට සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයා විගණනයට තහවුරු කර තිබුණු අතර, කතෝලික දේවස්ථානයකදී අක්‍ෂි සායනයක් පැවැත්වූ බවට අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කිරීම දෙවියන්ට පවා බොරු කිරීමක් බව සෙවණගල ප්‍රාදේශීය ලේකම්වරයා විගණන නිලධාරීන්ට ප්‍රකාශ කොට තිබුණේ සිනාසෙමිනි.

හිටපු සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වූ කුෂාන් තිලකරත්න මහතා ජාඇළ මැතිවරණ කොට්ඨාසයේ දික්කන්ද කටුවන්ගොඩදී 2014.08.09 වැනි දින අක්‍ෂි සායනයක් පැවැත්වූ බවට හා කැලණිය මැතිවරණ කොට්ඨාසයේ නාකියාදෙණිය ප්‍රදේශයේදී එම දිනයේම අක්‍ෂි සායනයක් පැවැත්වූ බව සඳහන් කරමින් ඇස් කණ්ණාඩි 3,494ක් ජේ. ඒ. ජයසිංහ ඔප්ටිකල්ස් ආයතනයෙන් ලබාගත් බවට රිසිට්පතක් ඉදිරිපත් කරමින් රුපියල් 529,950ක් ලබාගෙන ඇතත් අදාළ වවුචරයට අමුණා තිබූ අත්සන් ලේඛන සියල්ලක්ම ව්‍යාජ ඒවා බව හා එම සම්බන්ධීකරණ ලේකම්වරයා එම දිනයන්හිදී පැවැත්වූ කිසිදු අක්‍ෂි සායනයකට සහභාගි වී නොතිබූ බවද තහවුරු වී තිබේ.

අදාළ ඇස් කණ්ණාඩි බෙදා දුන් බවට ඉදිරිපත් කර තිබූ ලේඛනවල නම් සඳහන් පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි දුන්නේද යන්න තහවුරු කර නොගනිමින් රජයේ මුදල් ගෙවූ නිලධාරීන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විගණකාධිපතිවරයා අදදාළ අමාත්‍යාංශයට පත් වූ ලේකම්වරුන් දෙදෙනාගෙන්ම ලිඛිත ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්‍ෂණයක් සිදුකොට නොමැත.

අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ කුෂාන් තිලකරත්න මහතා ඇස් කණ්ණාඩි 1,950ක් සඳහා රුපියල් 1,267,500ක් ලබාගෙන ඇතත් ඒ මහතා සහතික කර ඉදිරිපත් කර තිබූ නාමලේඛනවල සඳහන් පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි ලබා දී නොතිබුණු බව ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන් හා ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයට අනුබද්ධිත සමාජ සේවා නිලධාරිවරියද සනාථ කර තිබුණු අතර, කුෂාන් තිලකරත්න මහතා ඉදිරිපත් කර තිබූ නාමලේඛනවල සඳහන් පුද්ගලයන් කැඳවා ඔවුන්ට ඇස් කණ්ණාඩි ලැබුණේදැයි විගණන නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සියල්ලන්ම ප්‍රකාශ කොට ඇත්තේ “මෙහෙම මහත්තුරු හිටියොත් අපේ ඇසුත් ගලවාගෙන යනකම් අපි දන්නෙත් නැතිවෙයිනේ” යනුවෙනි.

මේ පිළිබඳ විගණන නිලධාරීන් කුෂාන් තිලකරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ තමා අක්‍ෂි සායනයක් සඳහා ලබාගත් ඇස් කණ්ණාඩි සියල්ලක්ම ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාගේ නිවසේ පිහිටි කාර්යාලයට භාරදුන් බවය. එහෙත් ඒ බව සනාථ කිරීම සඳහා අදාළ කිසිදු ලේඛනයක් ඔහු සතුව නොතිබූ බවද විගණන නිලධාරීන් සනාථ කොට තිබේ.

දේශපාලකයන්ට ගෙවීම් නිර්දේශ කිරීමට අවසර නොතිබීම.

හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා 2014.07.08 වැනි දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ග්‍රාමයේදී හා 2014.07.27 දින මින්නේරියේදී සහ 2014.11.27 දින පුලතිසිගම ප්‍රදේශයේදී පවත්වන ලද අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ අක්‍ෂි සායනයන් සඳහා සමාජ සේවා අමාත්‍යංශයේ කිසිදු නිලධාරිවරයකු සහභාගි වී නොමැති අතර, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල මුද්‍රාව භාවිත කරමින් වෙනත් පුද්ගලයන් විසින් අත්සන් කරන ලද ලේඛන විගණනයට ඉදිරිපත් කර තිබිණි. එසේම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහතික කිරීම මත ඇතැම් ගෙවීම්ද සිදු කර තිබිණි.
අමාත්‍යංශයේ රාජ්‍ය චක්‍රලේඛවල සඳහන් උපදෙස් අනුව කිසිදු දේශපාලකයකුට අදාළ ගෙවීම් නිර්දේශ කිරීමට හෝ එවැනි අවස්ථාවන්ට සහභාගි විය නොහැකිය. එහෙත් හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය දේශපාලන ප්‍රතිරූපය නංවාගැනීම සඳහා අදාළ අක්‍ෂි සායනයන් පැවැත්වීම නියමිත ක්‍රමවේදය නොවන බව විගණකාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

දේශපාලන අරමුණ සඳහා ජන්ම දිනයන්හි ඇස් කණ්ණාඩි බෙදා දීම.

අඩු ආදායම්ලාභී ඇස් පෙනීමේ දුර්වලතාව සහිත පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි සිය ජන්ම දිනයේදී ලබා දී දේශපාලන වාසි ලබා ගැනීමද විගණන නිලධාරීන් හෙළි කරගෙන තිබිණි.
නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් 2014.07.01 දින මීගමුවේදී පැවැත්වූ අක්‍ෂි සායනය වෙනුවෙන් බෙදා දී ඇති ඇස් කණ්ණාඩි 338ක් සඳහා රු. 50,700ක් වැය කොට තිබුණේ විසර්ජන පනතේ විධි විධානයන්ද නොසලකා හරිමිනි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය දේශපාලන කටයුතුවලට සහාය පළ කිරීම.

එවකට මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය අවංක රජයේ නිලධාරිනියක ලෙස උතුරේ ද්‍රවිඩ ජනතාව අතර නමක් දිනාගත් තැනැත්තියකි. එහෙත් ඇය සමාජසේවා සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී දේශපාලකයන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා ඇයගේ බලතල යොදාගෙන ඇති අයුරු විගණන නිලධාරීන් හෙළි කරගෙන තිබේ.

ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී 2014.09.25 දිනැති ලිපිය මගින් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත ලිපියක් යවමින් උපදෙස් දී තිබුණේ අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ කාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ අක්‍ෂි සායන ජංගම සේවාවන්හිදී අඩු ආදායම්ලාභීන් සඳහා ලබා දී ඇති ඇස් කණ්ණාඩි 3,561ක් සඳහා වහාම ගෙවීම් කරන ලෙසය. එහෙත් අදාළ ඇස් කණ්ණාඩි 3,561 කුමන පුද්ගලයන්ට ලබා දී ඇත්දැයි සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරිය කටයුතු නොකිරීම බලවත් වරදක් බවට විගණන නිලධාරීන් සනාථ කොට තිබිණි. ප්‍රධාන ගණන් දීමේ නිලධාරිනිය වන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් කළ යුතුව තිබුණේ ඇයගේ කාර්යාලයේ නිලධාරි මණ්ඩලය යොදා ගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් අඩු ආදායම්ලාභීන්ට ආධාර ලබා දීම සඳහා ඇස් කණ්ණාඩි බෙදා දීමය. එහෙත් ඇය කර තිබුණේ දේශපාලකයකුගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා රාජ්‍ය සම්පත් යොදා ගැනීම බව විගණන නිලධාරීන් සිය විමර්ශන වාර්තාවේ සඳහන් කොට තිබේ.

 

ෆීලික්ස් පෙරේරා
හිටපු සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍ය

මට තියෙන ප්‍රශ්නෙ තමයි මටත් කොළේ වහලා මුං මේවා කළේ කොහොමද කියන එක…

“ඕවා මොනවද ඇස් කණ්ණාඩියක් රුපියල් 100ක් හරි 150ක් හරි වෙයි. ඉතින් ඕක ලොකු දෙයක් නෙවෙයිනේ. ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි මටත් කොළේ වහලා මුං මේවා කළේ කොහොමද කියන එක. ඒ ගැන නම් හොයන්නම වෙනවා.”


රංජිත් ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button