දේශීය

ජනපති අණින් මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වේ

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් ඊයේ (08) උදෑසන දැනුම්දීමකට අනුව ශ්‍රීලංකා මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇත.
විදුලිබල ක්ෂේත්‍රයේ චීනය සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත ඇතැම් ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට රජය දැඩි අධිෂ්ඨානයකින් පසුවන අතර, කිසිඳු විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක එම ව්‍යපෘතිවලට මහජන උපයෝගීතා කොමිෂන් සභාව බාධාවක් විය හැකි බැවින් එකී කොමිසම අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයා මිට ඉහතදී නියෝගකර තිබිණ.  ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුලිබල මණ්ඩලයට සහ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස පසුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණා.කෙසේවුවද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව අක්‍රීය කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පල කළ අතර වත්මන් ආණ්ඩුව නියෝජනය කරන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් පවා එම කොමිෂන් සභාව විසින් ඉටුකෙරෙන වැදගත් කාර්යභාරය ආරක්ෂා කිරීමට මැදිහත් විය. වාසුදේව නානායක්කාර විසින් සංවේදී හා කෝපී ලිපියක් ද අගමැතිවරයා වෙත යොමු කළේ ඒ අනුව ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ බලතල අනුව එහි සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් හැර ඇමතිවරයාට ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැති අතර ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසම අහෝසි කිරීමේ හැකියාවක්ද නොමැති බවත් එම පනත අහෝසි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසින් බවත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පැහැදිලිකර දී ඇත.  මෙසේ සාමාජිකයින් ඉල්ලා අස් වන්නේ ඒ අනුවය. ඒ බලපෑම අනුවය.

එම කොමිසමේ වර්තමාන සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිත චන්ද්‍රා ඒකනායක, ආචාර්ය නිශාන්ත ද මෙල් සහ නීතීඥ සඳුන් ගමගේ යන සියලු දෙනා ඊයේ ඉල්ලා අස් වීමට තිරණය කර තිබේ.

2002 අංක 35 දරණ එම කොමිෂන් සභා පනතට අනුව, සාමාජිකයින්ගේ ස්වාධීනත්වය සහතික කෙරෙනු අතර සාමාජිකයන් හට ස්ථාවර ධුර කාලයක් සඳහා සේවය කරන බවට සහතික වන විධිවිධාන පනතේ අඩංගු බැවින් විෂමාචාරි ක්‍රියාවන් වැනි සුවිශේෂී අවස්ථාවක හැර එම සාමාජිකයින් ඉවත් කළ නොහැක.  කෙසේවුවද එම සාමාජිකයින් ඉවත් කිරීමෙන් පසු තමන්ට අවනත කිහිප දෙනෙකු පත්කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button