දේශීය

ආණ්ඩුවේ මිලට හාල් හෙව්වොත් බත් කන්න වෙන්නේ නෑ

පා.ම. හර්ෂ ද සිල්වා හාල් ගැසට්ටුව ගැන ආණ්ඩුවට දෙහි කපයි

මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියන් බවත් පා.ම හර්ෂ ද සිල්වා පවසයි.

නිවේදනයක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වෙළඳ ඇමති බන්දුල කියන මිලට හාල් හෙව්වොත් ජනතාවට බත් නොකා සිටීමට සිදු වන බවය.

මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද නොලැබෙන බවත් ඔවුන් බල ගැන්විය යුතු බවත් එම නිවේදනය මගින් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

“ගැසට් ගසා වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අපහසු බව වත්මන් රජය අවබෝධ කරගත යුතු අතර මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර හතරේම සඳහන් වූ උපරිම මිල සීමාවන්ට යටත්ව පාරිභෝගිකයාට වෙළෙඳපොළේ සහල් සොයා ගැනීමට නොහැකි විය. මේ ආකාරයෙන්ම, රජය විසින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන උපරිම මිල සීමාවන්ට යටත්වද සහල් ලැබෙන තුරු බලා සිටියහොත් කිසිවෙකුටත් ඉදිරියේදී බත් කන්නට සිදුවන්නේ නැත.

ගැසට් පිට ගැසට් ගැසුවත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර සහල් කිලෝවක සැබෑ මිල රුපියල් 125 ක් පමණ වන අතර නාඩු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 105 – 110 ත් අතර අගයක් ගනී. ඒ අතරම, කිරී සම්බා සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 140-150 ත් අතර මිලක් ගන්නා අතර කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100 – 105 අතර මිලක් ගනී. “

එසේම, තවදුරටත් අදහස් දක්වන ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසීය.

“හෙට අනිද්දාට විශාල සහල් තොගයක් ආනයනය කිරීමට රජය කටයුතු කිරීමෙන් සහල් ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙනේ. වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබෙන රටක් මේ ආකාරයෙන් සහල් ආනයනය කිරීම යුක්ති සහගතද ? වෙළෙඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි හසුරුවා ගන්නට අසමත් ආණ්ඩුවක් මෙරට ක‍ෘෂි කර්මාන්තය දියුණු කිරීම කරන්නේ කටින් බතල කොළ සිටුවන න්‍යායටදැයි අපට අසන්නට සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ගොවි ප්‍රජාව ඡන්දය ලබාදුන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. තමන්ගේ අනාගතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය සරුවනු ඇතැයි බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණි. තමන් ඇති තරම් වී වගා කරද්දී වත්මන් ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරනු ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අවසාන වශයෙන් සටහන් කරන්නේ සහල් මිල තුවක්කුවෙන් හෝ ගැසට්ටුවෙන් පාලනය කළ නොහැකි බවයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button