ව්‍යාපාරික

‘මැලිබන් යහ පෝෂ’ දැන් නියම කිරි යහගුණය සමගින් යළි වෙළඳපොළට

මැලිබන් සමාගමේ ජනප්‍රිය නිෂ්පාදනයක් වන මැලිබන් යහපෝෂ, වැඩිදියුණු කර නැවතත් වෙළඳපොළට හඳුන්වා දීමට මැලිබන් සමාගම පසුගියදා කටයුතු කළේ ය. පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් සහ දවසේ ඕනෑම මොහොතක රස බැලිය හැකි කෙටි ආහාරයක්ද වන මැලිබන් යහ පෝෂ දැන් නැවුම් කිරි සාරයෙන් අනූන නිෂ්පාදනයක් බවට පත්වී ඇත. අපේම රටේ ගොවීන්ගෙන් මිලදීගත් සහල්, ඉරිඟු, සෝයා, කිරි සහ මුං ඇට යොදා නිෂ්පාදනය කරන මෙය දරුවන් ඇතුළුව මුළු පවුලටම සුදුසු පෝෂ්‍යදායී, ප්‍රණීත ආහාරයකි. මේ වනවිට පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා ග්‍රෑම් 200 පැකට්ටු ලෙසින් මැලිබන් යහ පෝෂ වෙළඳපොළට නිකුත් කරනු ලැබේ.

“මැලිබන් යහපෝෂ කවදත් පෝෂණ ගුණ සපිරි ආහාරයක් ලෙස නිෂ්පාදනය වුණා. දැන් එයට කිරි වල අඩංගු ප්‍රෝටීන්, මේදය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථද එක්වී ඇති නිසා පෙරටත් වඩා පෝෂ්‍යදායී ආහාරයක් බවට පත්වී තිබෙනවා. මේ සඳහා අප අමුද්‍රව්‍ය ලබාගන්නේ සෘජුවම දේශීය ගොවීන් වෙතින්මයි. ඒ නිසා නිරෝගී ජීවිතයකට අවශ්‍ය ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ සියල්ල මැලිබන් යහ පෝෂ තුළ අඩංගු වන බව කියන්නට පුළුවන්.” මැලිබන් ඬේරි ඇන්ඞ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බන්දුල පෙරේරා මහතා පැවසී ය.

මැලිබන් යහ පෝෂ වල රසායන ද්‍රව්‍ය, බාහිර රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ. එමෙන්ම දේශීය ගොවීන්ගේ නිෂ්පාදන මිලදීගැනීම මගින් රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට අතදෙමින්, දේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් පෝෂ්‍යදායී නිෂ්පාදන නිපදවීමට සමාගමට හැකියාව ලැබී ඇත.

මැලිබන් යහ පෝෂ නිපදවන කර්මාන්තශාලාව දඹුල්ල ප්‍රදේශයේ පිහිටා තිබේ. මේ ආකාරයට පෝෂ්‍යදායී නිෂ්පාදන නිපදවීමට අමතරව එම සමාගම ගොවීන්ගේ සහ එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා විවිධ ප්‍රජා සත්කාර වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

“මැලිබන් සමාගම ආරම්භයේ පටන්ම අප අනුගමනය කළ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූයේ, අප නිපදවන නිෂ්පාදන පාරිභෝගිකයන්ට පමණක් නොව අපගේ දරුවන්ට වුවද සැකයකින් තොරව ලබාදිය හැකි මට්ටමේ නිෂ්පාදන විය යුතු බවයි. එමෙන්ම අපගේ ව්‍යාපාරයේ සෑම අංශයකදීම අප පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වලට මුල්තැනදී කටයුතු කරනවා.” මැලිබන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා පැවසී ය.

සෑමවිටම උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන නිපදවීම නිසා මැලිබන් සමාගම දශක ගණනාවක් පුරා විශාල ප්‍රසාදයක් දිනා සිටී. SLSI සහතිකකරණය ඇතුළුව ප්‍රමිති සහතික හා ඇගයුම් රැසක් සමාගම වෙත හිමිවී තිබීම එම තත්ත්වය හා ප්‍රමිතිය සම්බන්ධ මනා සාක්ෂියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button