දේශීය

‘පොකුණා’ ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කරලා

ලංකාදීප - රෝහණ සමරවීර

උඩවලව ඇත් අතුරු සෙවනේ ඇති දැඩිකර වනයට මුදා හැර එහි ජීවත් වෙමින් සිටි පොකුණා නැමැති ඇත් පැටවාට උඩවලව පනහඩුමුල්ල කෙම්තුනේගල ප‍්‍රදේශයේදී කිසියම් අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

එම ඇත් පැටවාගේ මළ සිරුර එම ප‍්‍රදේශයේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට පස්වරුවේ සොයා ගැනීමට හැකි වී ඇත.

දින තුනකට පමණ පෙර එම ඇත් පැටවා ඝාතනය කර ඇති බවට සැකකරන බව උඩවලව වනජීවී නිලධාරිහු පැවැසූහ.

අවුරුදු දහයක පමණ වයසකින් යුතු එම ඇත් පැටවාගේ උස අඩි පහක් පමණ වන අතර අඩි දෙක හමාරක් පමණ දිග දළ යුගලක් එම පැටවාට පිහිටා ඇති අතර දඩයක් කරුවෙකු විසින් අලියාට වෙඩි තබා ඇති බවට වනජීවිය සැක කරයි.

2013 වසරේ එම ඇත් පැටවා සිය මවගෙන් මගහැරී උඩවලව ජාතික වනොද්‍යාන බල ප‍්‍රදේශයේ පොකුණුතැන්න ප‍්‍රදේශයේ එහෙ මෙහෙ සැරිසරමින් සිටියදී වනජීවී නිලධාරීන් දැක උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් තිබේ.

එහිදී පොකුණා යන සුරතල් නාමය යටතේ එම පැටවා වනජීවී නිලධාරින් විසින් ඇති දැඩි කර වනයේ ජීවත් වීමට හුරු කිරීමෙන් අනතුරුව 2018 වසරේ අගදී නැවත එම නිලධාරීන් විසින් එම වනෝද්‍යානයේ වනාන්තරයට මුදා හැර තිබේ.

මාස ගණනාවක් වනාන්තරය ආශ‍්‍රිව ජීවත්වූ පොකුණා හක්ක පටස් සපා කෑමෙන් බරපතල තුවාල ලබා වනාන්තරයේ වැටී සිටියදී වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී තිබේ. නැවැත එම ඇත් පැටවා ඇත් අතුර සෙවන වෙත රැගෙන විත් දැඩි පරිශ‍්‍රමයක් දරා සුවපත් කර වනයට මුදා හැර සිටියදී මෙසේ මියගොස් ඇත.

ඇත් පැටවාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් ඉකුත් (02) දින ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතමියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරුන් වන විජිත පෙරේරා. වෛද්‍ය නාලක අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් විසින් එදින පස් වරුවේ සිදු කරණු ලදි.

ඇත් පැටවාගේ හිස ප‍්‍රදේශයට හා ශරීරයේ විවිධ ස්ථාන වලට වෙඩි පහරවල් පහක් එල්වී ඇති සළකුණු දකින්නට ලැබූණු බවත් නමුත් මරණයට හේතුව නිශ්චිත කර ගැනීම සදහා ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට ඇත් පැටවාගේ හිස ඇත් අතුරු සෙවන වෙත රැගෙන ආ බව වෛද්‍ය මාලක අබේවර්ධන පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button