දේශීය

ඉන්දියාවෙන් එන සිසුන්ගේ ටිකට්වලට 58,650ක් ඉල්ලලා

- අනිද්දා වෙබ් අඩවියෙන්

අප්‍රේල් 25 දින ඉන්දියාවේ මුම්බායි සිට ශ‍්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීමට නියමිත ලාංකික සිසුන්ගේ ගුවන් ටිකට්පතක් සදහා රුපියල් 58,650ක මුදලක් ශ‍්‍රීලංකන් ගුවන් සමාගම අය කරගෙන ඇති බව අනිද්දාට වාර්තා වේ. (මෙම ලිපිය අනිද්දා වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි)

සිසුන්ගේ මාපියන් කිහිපදෙනෙකු අප සමඟ අදහස් දක්වමින් පැවසුවේ කොවිඞ් 19 වසංගතය නිසා තමන් විශාල ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින බවත් ආර්ථික අපහසුතාවන් මධ්‍යසේ වුවද තම දරුවන් ගෙන්වා ගැනීමට මුදල් දීමට සිදුවූ බවත්ය.

අප්‍රේල් 23 වන දින බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර තිබුණේ මෙරට සිසුන් 580ක් ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව මත ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබන බවය.

රුපියල් 58,650ක ගාස්තුව පැමිණීම සඳහා නියම කරන ලද එක් ගමන් වාරයකට පමණි. අප කළ සොයාබැලීම්වලදී වාර්තා වුණේ ටිකට්පතකින් අය කරගත් මෙම මුදල සාමාන්‍යයෙන් අය කළ යුතු මුදලට වඩා ඉහළ මුදලක් බවය. දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සිට ලංකාවට යෑමට සහ ඒමට වැය වන්නේ රුපියල් 45000 කට ආසන්න මුදලක් බවත්, මෙම කාලසීමාව ගුවන් ගමන් අඩු කාලසීමාවක් බැවින් සාමාන්‍යයෙන් රුපියල් 30,000 කට පමණ ගුවන් ටිකට්පත් නියම වන බවත් අප කළ සොයාබැලීම්වලදී හෙළිවිය.

නේපාලය, බංග්ලාදේශය හා පාකිස්ථානයේද ලාංකික සිසුහු අධ්‍යාපනය ලබති. ඉන් බහුතරයක් රජයේ ශිෂ්‍යත්වධාරීහුය. කොවිඞ් 19 වසංගතය පැතිරීමත් සමග විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් අධ්‍යාපනය ලබන රටවල අතරමං වී ඇති බැවින් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා තිබුණි.

සිසුන්ගෙන් මුදල් අය කරගැනීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ගෙන් අප කළ විමසීමකදී පැවසුවේ කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් චීනය, යුරෝපා සංගමය ආදි විවිධ රටවලින් ලංකාවට ආධාර ලැබී ඇති තත්වයක් තුළ මෙසේ එම වසංගත තත්වය මත විදේශ රටවල අතරමං වූ සිසුන් ගෙන්වා ගැනීමට මුදල් අය කිරීම බරපතළ කනගාටුදායක තත්වයක් බවය.

මෙම සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳව විමසීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය සම්බන්ධ කර ගැනීමට දූරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන් නමුත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


රේඛා නිලුක්ෂි හේරත්

One Comment

  1. Nobody can give FREE TICKETS. It cost will borne by Students.
    There is NOT a system give FREE Ticket to Student who are study in Privates Universities .
    JVP make story for Political gain. …JVP was/is Terrorist outfit . They having money back by Foreign spicy agencies

Leave a Reply to Mabola Milton Cancel reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button