දේශපාලන

“පවිත්‍රා නෝනා ඉල්ලා අස්වෙන්න ඕනෑ….. ජනාධිපතිවරයා මුල සිටම කිසිම දැක්මකින් කටයුතු කළේ නැහැ”

“විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමිකරමින් පාස්කු ප්‍රහාරය එල්ලකර අදට (21) (මෙය ඊයේ පැවැත්වූ කතාවකි) වසරක් සම්පූර්ණ වෙනවා. මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ, වේදනාවට පත්වුණ සියලුමදෙනාට අපේ පක්‍ෂයේ සාතිශය සංවේගය පළකරනවා. මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු ජනතාවට සාධාරණය ඉෂ්ඨකරන්න තවමත් ආණ්ඩුව සමත්වී නැහැ. එනිසා සාධාරණය ඉටුකරගැනීම සඳහා ඔවුන් කරන අරගලය සමඟ අපේ පක්‍ෂය හැමවිටම ඉන්න බවට සහතික වෙනවා….”

යැයි. ඊයේ (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති අදහස් දැක්වීමකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින්,

පවිත්‍රා නෝනා ඉල්ලා අස්වෙන්න ඕනෑ

“සෞඛ්‍ය ඇමතිවරිය ජනමාධ්‍යයට කිව්වේ අප්‍රේල් 19දිනය වනවිට කොරෝනා වසංගතය අවසන් කරන බවයි. සමහර නාලිකාවල ජ්‍යොතිෂ්‍ය අනාවකි කියන අය වගේ ඇමතිවරිය වගකීම්විරහිතව මේ ප්‍රකාශය කළා. අප්‍රේල් 20වැනිදා මෙතෙක් අපේ රටේ එක දිනකදී හඳුනාගත් ඉහළම රෝගීන් සංඛ්‍යාව වන 33ක් හඳුනාගත්තා. පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ. මේ අය බලය වෙනුවෙන් මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක.

මීට කලිනුත් සෞඛ්‍ය ඇමතිවරිය දිනන්න පුළුවන් වෙලාවේ ඡන්දය පවත්වන්න ඕනෑ බව කිව්වා. මෙයින් නතර නොවූ ආණ්ඩුව 22වැනිදා ඉඳලා බරපතල ලෙස රෝගය ව්‍යාප්ත වූණ කලාපවලත් ඇඳිරි නීතිය ඉවත් කරන බව ප්‍රකාශ කර තිබුණා. 20වැනිදා රටේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය දහවල් කාලයේ ඉවත් කර රාත්‍රී කාලයේ පැනවූවා. ඒ සමගම අධිවේගී මාර්ග විවෘත කරන බවට කාලසටහනකුත් ඉදිරිපත් කළා. ආණ්ඩුව ඇත්තටම ලැහැස්ති වුණේ 20වැනිදා ප්‍රචාරයක් දියත් කරලා 22වැනිදා සිට මුළු රටේම ඇඳිරි නීතිය ඉවත් කර මැතිවරණයට බහින්න.”

ඡන්දය වෙනුවෙන් බොරු තත්වයක් මවන්න උත්සාහ කළා

“නමුත් 20වැනිදා රෝගීන් 32දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවීමත් එක්කම කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳීරි නීතිය 27 දක්වා දීර්ඝ කළ බව නිවේදනය කරන්න සිදුවුණා. මේ රෝගීන් හඳුනා ගන්න තව දවස් දෙක තුනක් ප්‍රමාද වුණා නම් මේ රෝගීන් සමාජයත් එක්ක මුසු වෙලා අපේ රට ඉතා බරපතල අනතුරකට ගොදුරු වෙනවා. ආණ්ඩුව කිසි සේත්ම ඒ ගැන හිතුවේ නැහැ. පවතින තත්වය කෙසේ හෝ කෘතීම ලෙස වෙනස්කර ඡන්දය තියන එක විතරයි ආණ්ඩුව කල්පනා කළේ. ඡන්දය වෙනුවෙන් බොරු තත්වයක් මවන්න ආණ්ඩුව උත්සාහ කළ බව මේ කරුණු අනුව අපි අවධානරණය කරනවා. මේ සියලු තත්වයන් සලකා බලලා මැතිවරණ කොමිසම ජූනි 20 දක්වා ඡන්දය දල් දැම්මා. ආරම්භයේ සිටම ආණ්ඩුවට මේ ප්‍රශ්නය පිළිබඳව කිසිම දැක්මක් තිබුණේ නැහැ. ජනාධිපතිවරයා මුල සිටම කිසිම දැක්මකින් කටයුතු කළේ නැහැ.”

යුද්ධය සහ කොරෝනා වෛරසය අතර වෙනස ජනපති දැන් නෑ

“ලංකාවට මේ වෛරසය එන්න පුළුවන්කම තිබුණේ විශේෂයෙන් ගුවන්තොටුපොළ හරහා. නියමිත වෙලාවට ආණ්ඩුව ගුවන්තොටුපොළ පාලනය කර සෞඛ්‍යාරක්‍ෂක විධිවිධාන යෙදුවා නම් මේ අර්බුදය මේ තරම් පැතිරෙන්නේ නැහැ. ගුවන්තොටුපොළෙන් එන ටික දෙනෙක් නිරෝධානයනයට ලක්කර අනෙක් අය නිවාසවලට පිටත්කර යැව්වා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කණ්ඩායම් වශයෙන් හමුවෙන්නේ එහෙම ගෙවල්වලට පිටත්කර යැවූ අයගෙන් බෝ වුණු රෝගීන්. කොරෝනා වසංගතය පාලනය කිරීම ලෝකයේ ඉහළම තැනක ඉන්න බවට බොරු ප්‍රවෘත්ති හදලා ව්‍යසනයේ වාසියගන්න උත්සාහ කළාට වගකීමෙන් තොරව වැඩකරලා ව්‍යසනය සමාජගත කළේ ආණ්ඩුවයි. රට වහන්න ඕනෑ කියලා ඉල්ලීම් එනකොට ජනාධිපතිවරයා හිනා වෙමින් කිව්වේ කෙරෝනා රෝගීන් 28ක් හමු වුණාම රට වහන්න ඕනෑ නැහැ, යුද්ධ කාලේදී 5,000ක් මැරිලාවත් රට වැහුවේ නැහැ කියලා. යුද්ධය සහ කොරෝනා වෛරසය අතර වෙනසවත් තේරුම් නොගත් ජනාධිපතිවරයෙක්. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉතා බරපතල ලෙස මෙයට විරෝධය පළකරමින් මේ දෙක සමානව හිතන්න එපාකියලා අනතුරු ඇඟවූවා.”

යනුවෙන් අදහස් දක්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button