විශේෂාංග

ඇඳිරිනීතිය විධිමත් කිරීම අත්‍යාවශ්‍යයි !

නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමට ආණ්ඩුව ගත් තීරණය වැදගත් ය. ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස දැනුම් දුන්නද, එය එසේ නොවීය. ජනතාවගේ පුරුද්ද මර්දනයට නීතිය අත්‍යවශ්‍ය තත්ත්වයක් මතු වී තිබිණි. ඒ තීරණයෙන් ආණ්ඩුවේ අරමුණ සියයට සියයක් නැතත්, සෑහෙන තරමකින් සාර්ථක වූ බව කිව යුතුය. ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයන් දසදහස් ගණනක් අත්අඩංගුවට ගැනිණි.

ආණ්ඩුව ප‍්‍රමාද වී හෝ ගත් මේ තීරණය අගය කරන අතරතුර, එය පිළිවෙළකට නොවීමේ ගැටළුව ගැන ද කතා කළ යුතුය. ප‍්‍රකට නීතිඥයෙකු වන ජනාධිපති නීතිඥ විරාන් කොරයා පෙන්වා දෙන්නේ දැනට රටේ ක‍්‍රියාත්මක ඇඳිරිනීතිය විධිමත් ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව පනවන ලද්දක් බවයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව, රට පුරා ඇඳිරිනීතිය පැනවීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවත්, ඒ සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවත් ය. එහෙත් මෙතෙක් එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබේ.

මෙය රට පුරා ක‍්‍රියාත්මක වන ඇඳිරිනීති තත්ත්වයකි. මෙය පොලිස් ඇඳිරිනීතියක් නම්…? පොලිස් ඇඳිරිනීතිය පැනවීම සිදු වන්නේ පොලිස් කොට්ඨාස මට්ටමෙන්ය. එහෙත් පොලිස් ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් ද ගැටළුවක් තිබේ. පොලිසියට ඇඳිරිනීතියක් පැනවීමේ බලයක් සම්බන්ධයෙන් පොලිස් ආඥා පනතේ විධිමත්ව සඳහන් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.

යම් අපරාධයක් වැළැක්වීම සඳහා සාමය ආරක්ෂා කරන ආයතනය ලෙස පොලිසියට දෙයක් කිරීමේ බලය අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් ප‍්‍රතිපාදන අනුව පොලිසියට පවරා තිබේ. ඒ අනුව මේ පොලිස් ඇඳිරිනීතිය පැනවීම සිදු වන බව අදාළ නීතිවේදීන්ගේ මතයයි. එහෙත් මේ ආකාරයට අපරාධයක් වැළැක්වීමට ඕනෑම දෙයක් කිරීම යනු ද බරපතළ තත්ත්වයකි. එම නිසා මේ ප‍්‍රතිපාදන විග‍්‍රහ කර ගැනීමේ ගැටළුවක් පවතී.

නිරෝධායන පනතේ බලතල අනුව ඇඳිරිනීතිය පැනවූ බවට පොලිසිය යම් අවස්ථාවල ප‍්‍රකාශ කළද එම පනතේ කුමන වගන්තියකට අනුකූලව ඇඳිරිනීතිය පැනවීමේ හැකියාව ඇත්දැයි ඔවුන් සඳහන් කර නැත.

මේ අතර මේ දිනවල ක‍්‍රියාත්මක ඇඳිරිනීතිය කඩ කිරීම නිසා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 185 සහ 264 වගන්ති ප‍්‍රකාරව ය. 185 වැනි වගන්තියේ සඳහන් වන්නේ රජයේ සේවකයෙකු නිසි පරිදි කරනු ලැබූ ආඥාවකට අකීකරු වීම සම්බන්ධයෙන් ය. 264 වගන්තියේ සඳහන් වන්නේ නිරෝධායන නීතිවලට අකීකරු වීම සම්බන්ධයෙන් ය. එහෙත් ගැටළුව ඇත්තේ ජනාධිපති නීතිඥ විරාන් කොරයා පවසන ආකාරයට මෙම ඇඳිරිනීතිය විධිමත් ලෙස පනවා නොතිබීමයි. එනම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 185 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීම අභියෝගයට ලක් කළ හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

යළිත් කිව යුතුය. පවතින වසංගත තත්ත්වය තුළ ආණ්ඩුව විසින් ඇඳිරිනීතිය පැනවීමට ගන්නා ලද තීරණයට කිසිවකුට විරුද්ධ විය නොහැකිය. එය අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් එය විධිමත් ලෙස නොකිරීමේ ගැටළුව තිබේ. කොටින්ම මෙය නරක පූර්වාදර්ශයකි. කොරහේ කිඹුලන් දැකීමට මෙය අවස්ථාව නොවූවද, මේ ආකාරයට අවිධිමත්ව, පවතින නීතිමය විධිවිධානවලට පිටින් යමින් ඉදිරියේදී අත්තනෝමතික කටයුතු ද සිදු නොවෙතැයි කිසිවකුට සහතික දිය හැකිද?.


ශාලික විමලසේන
ලංකා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button