දේශීය

මුස්ලිම්වරුන්ගේ සාමුහික ආගමික කටයුතුවලට තහනමක්

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමික කටයුතු පරිපාලනය සඳහා රජය විසින් පත් කර තිබෙන මණ්ඩලය විසින් කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම පිණිස මුස්ලිම් වරුන් සම්බන්ධයෙන් සීමා කිරීම් කිහිපයක් පනවා තිබේ.

එහිදී රාමසාන් උපවාස සමය තුළ ඉස්ලාම් භක්තිකයන් විසින් සාම්ප්‍රදායික වශයෙන් දේවස්ථාන තුල පවත්වන ලද වන්දනාමාන කටයුතු අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය විසින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලයේ අධ්‍යක්ෂ හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් විසින් සියලුම මුස්ලිම් පල්ලි පරිපාලකයන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වක්ෆ් මණ්ඩලය විසින් මාර්තු 15 දින ලබා දුන් නියමයන් මුළු රාමසාන් මාසය පුරාවටම සහ නැවත දැනුම් දෙන තුරු බල පවතිනු ඇති බවයි.

ඒ අනුව රාමසාන් උපවාස සමය තුළ මුස්ලිම් පල්ලි පරිපාලකයන් හා ඉස්ලාම් භක්තිකයන් විසින් පිළිපැදිය යුතු නියමයන් හතරකි.

එහි පළමුවැන්න ලෙස දක්වා ඇත්තේ ඉමාම්වරයා හා මුඅස්සින්වරුන් (නැමදුම් මෙහෙයවන්නා සහ ඔහුගේ සහායක) හැර අන් කිසිවකු සඳහා ඉස්ලාම් දේවස්ථාන විවෘත නොකළ යුතු බවයි.

එමෙන්ම දෛනික පස්වේල නැමදුම, ජුමුආ නැමදුම, තාරාවීහ් නැමැති රමළාන් මස රාත්‍රී නැමදුම් ඇතුළු සියලු සාමූහික නැමදුම් නොපවත්වන ලෙසත් ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

ඉෆ්තාර් වැඩසටහන් වැනි වෙනත් සාමූහික ක්‍රියාකාරකම් නොපවත්වන ලෙසටත්, මස්ජිද්වල (පල්ලි) හෝ එහි පරිශ්‍රයේ කැඳ (කන්ජි) පිසීම හෝ බෙදා හැරීම නොකරන ලෙසත් ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය වැඩි දුරටත් ඉල්ලා ඇත.

මෙම නියමයන් නිසි ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දීම සහ කොවිඩ්-19 රෝගයට අදාළව සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් විසින් දෙන ලද උපදෙස් පිළිපැදීමට ඔවුන්ව දැනුවත් කිරීම සහ දිරිමත් කිරීම කරන ලෙසටත් ශ්‍රී ලංකාවේ වක්ෆ් මණ්ඩලය සියලු මස්ජිදවල (පල්ලිවල) පරිපාලකයන් හට නියෝග කර ඇත.

මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ ‘වකුෆ් පනත’ අනුව කටයුතු කිරීමේ අරමුණ වෙනුවෙන් මුස්ලිම් සංස්කෘතික කටයුතු භාර අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ විසින් පත් කරන ලද හත් කට්ටුව වකුෆ් මණ්ඩලය ලෙසින් හැඳින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button