පුරවැසි කොළම

“අපි, ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ….”

අද අප්‍රේල් 21 වෙනිදා. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක්. හිතාගන්න බැරි වෙලාවක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨාන වුණු වෙලාවේ. ඒ වෙනුවෙන් දෙවියන් යදමින් හිටිය, ඒ වෙනුවෙන් සතුට සමරමින් හිටිය අහිංසක මිනිස්සු පිරිසක් අමු අමුවේ බෝම්බ ගහලා මැරුවා.

අපිට සමූල ඝාතන බෝම්බ හුරු කළේ LTTE එක. ඒ නිසා හැමෝම හිතුවේ LTTE එක කියලා. හැබැයි ටික වෙලාවකට පස්සේ තමයි දන්නේ ගැහුවේ මුස්ලිම් අන්තවාදී පිරිසක් කියලා. හැබැයි ගහපු එක නවත්තන්න බැරි වුණාට ඊට පස්සේ ගහන්න තිබ්බ ඒවා නවත්ත ගත්තා කෝමහරි. ඒක අගය කරන්න ඕනේ ඒ රජය කරපු දේ. හැබැයි ඇත්ත මොකක්ද?

“අපි ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ….” මේ එදා ආරක්ෂක ලේකම් කිව්වේ.

ඊට පස්සේ කොමිසමක් දැම්මනේ ඒකට ආපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නිලන්ත ජයවර්ධන කිව්වේ මොකක්ද?
“බුද්ධි අංශ තොරතුරු දත්ත විශ්ලේෂණය දන්නේ නෑ” කිව්වා.

ඊට පස්සේ ආණ්ඩුවේ අය ප්‍රෙස් එකක් තියලා හක හක ගාලා හිනාවුණා. අඩුම තරමේ මැරුණ ගාණවත් කියන්න හරියට ආණ්ඩුවට බැරි වුණා.

ඊට පස්සේ ජනාධිපති කොමිසමක් දැම්මා.ඒ කොමිසම යටකරලා පාර්ලිමේන්තු කාරක සභාවක් දැම්මා. ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයා අතර තිබ්බ අවුල ඒකට ගෙනාවා. ජනාධිපතිවරයා UNPඑක එක්ක අවුල් නිසා කොමිසම මැද්දේ “ඔක්කොම කුණු බේර වැවට” කියලා පොලිස්පතිවරයයි, හිටපු ආරක්ෂක ලේකම්වයි අල්ලලා හිර කළා, කාරක සභාවේ අය “වගේ වගක් නැතිව සිංගප්පුරුවට වෙලා එවකට ජනාධිපති හිටිය හැටි, මග ඇරිය හැටි” හෙළි කළා. අන්තිමට මේක දේශපාලන මඩ ගැසීමක් වෙලා ‘යුක්තිය’ කියන වචනය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් වුණා. පොරොන්දුවක් වුණා.

විමල්ලා, ගම්මන්පිලලා මේක ආණ්ඩුවේ වැඩක් මේකට රිෂාඩ්, හිස්බුල්ලා, අසාද් සාලි, හකීම්ලා හවුල් කිව්වා. අපි ගාව විස්තර තියෙනවා කිව්වා. ගෝඨා දින්න ගමන් හිරේ කිව්වා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා, මහින්ද අගමැති වුණා. දැන් ඡන්දය ළඟයි. දැන් ආයේ අල්ලනව. රිෂඩ්ලා රහස් පොලීසියට එනවා. ඇවිත් කට උත්තර දෙනවා, යනවා, කට්ටිය ඇරස්ට් කරනවා….

දැන් ආයේ පිකප්. දැන් ආයේ වැඩේ යනවා. මිනිස්සු ඇස් එළියට දාගෙන පුදුම වෙලා. හැබැයි මේ සියල්ල ජුනි 20න් පස්සේ ඉවරයි. ආයේ මේ මරණ ගැන, මේ අපරාධය ගැන යුක්තියක් හිතාගන්නවත් බෑ. සියල්ල හීන. සියල්ල බොරුව….

අපි මේ ආණ්ඩුවට කියනවා පුළුවන්නම් පක්ෂ සභාපතිකම නෙමෙයි රටේ ජනාධිපති හැටියට මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දැම්මට මෛත්‍රීපාල සිරිසේනව ඇරස්ට් කරන්න, හැම තොරතුරක්ම තියෙන විමල්, ගම්මන්පිලලගෙන් ප්‍රශ්න කරලා රිසාඩ්ල, හිස්බුල්ලලා, හකීම්ලා, අසාද් සාලිලා ඇරස්ට් කරන්න. අර අමු අමුවේ මිනිස්සුන්ව මැරුවේ මෙන්න මුන් කියලා රටට පෙන්නන්න….

ලංකාවෙ ගොඩක් අපරාධ ළඟටම යනවා. හැබැයි මහ වැට පන්න ගන්න බෑ. ඇයි…?

දේශපාලන සම්බන්ධතා ලොකුයි බරපතලයි. ඒ නිසා ගොඩක් දේවල් ආයේ හැරෙනවා. වැට දිගේ යනවා. මේකත් දැන් වැට දිගේ යන්නේ. ඒ නිසා දැන්වත් වැට පන්නලා යුක්තිය දෙන්න ඒ මරණ වලට. ඒ ජීවිත වලට. නැත්තම් ඊළඟ අවුරුද්දෙත් මේවා මෙහෙම ලියන්න වෙනවා.

එහෙම නැතිව ඝාන්ඨාර ගහලා, පහන් පත්තු කරලා, විනාඩි දෙකක් නිශ්ෂබ්දව ඉඳලා ඒ ආත්ම වලට සැනසීමක් දෙන්න හදන එක අමුලික බොරුවක්. ඒ බොරුව අපි හැමදාම කරනවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button