දේශීය

කොරෝනා අස්සේ, විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට විරෝධය…!

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය තවත් ජීවිත බිලිගනිමින් ඉන්නා අවස්ථාවක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයකින් තොරව විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගත් හදිසි තීරණයට විරෝධය පළ වෙමින් පවතී.

විශ්වවිද්‍යාල මැයි 4 දා සිටත්, සියලුම පාසල් මැයි මස 11 දාත් විවෘත කරන බවට ආණ්ඩුව විසින් දැනුම් දී තිබේ.

වෛද්‍ය ක්ෂේත්‍රයේ අනතුරු ඇඟවීම් නොතකා කිසිදු විද්‍යානුකුල හේතු දැක්වීමකින් තොරව රජය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් සරසවි සහ පාසල් ගුරුවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානද විරෝධය පා සිටිති. එම සැමදෙනාම පෙන්වා දී ඇත්තේ වසංගතය මර්දනය සදහා ගත් ක්‍රියාමාර්ග ලිහිල් නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කර ඇති බවයි.

පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට රජය තීන්දුවක් ගෙන ඇත්තේ වසංගත පාලනය සඳහා පනවන ලද තහංචි විද්‍යානුකුල පදනමකින් තොරව ලිහිල් කිරීමේ අවදානම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් අනතුරු අඟවා සිටියදීය.

මැයි මාසය මුලදී ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යනු ඇති බවට අනතුරු අඟවා තිබෙන වෛද්‍ය විශේෂඥයන් දුරස්වී හිඳීම ඇතුළු රෝගාතුර වීම වැළක්වීමේ විධික්‍රම ලිහිල් කිරීමට “හිතලාවත් නැති” අවස්ථාවක පාසල් විවෘත කිරීම සිසුන්ට, ගුරුවරුන්ට පමණක් නොව දෙමාපියන්ටද විපත්තිදායක බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංවිධානය පෙන්වා දෙයි.

ගුරුවරුන්

“වසංගතය නැතිවෙන දවසක් ගැන කියන්න තවම දන්නේ නැති සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා පනවා තිබෙන සීමා ලිහිල් කරන්න හිතලාවත් නෑ. පාසල් විවෘත කළාම සෞඛ්‍යාරක්ෂාව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා විදුහල්පතිවරුන් දැනුවත් කිරීම ගැන පූර්ව සැලැස්මක්වත් වත් නෑ…”

යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

රෝගී තත්වය රටින් දුරුවී ඇති බවට සියයට සියයක් සහතිකයක් ලැබෙන තුරු දරුවන් පාසල් එවීමට දෙමාපියන් මැලි වනු ඇති බවට ගුරු සංගමයේ ලේකම් බිය පල කළේය.

අදියර තුනකින් විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ සතිය මුලදී කළ දැනුම් දීම අනුව අවබෝධ වන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඒ වනවිට ලබාගෙන නැති බවයි.

“මේ අයුරින් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේදී කොරෝනා වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ආරක්ෂක පියවර සම්බන්ධයෙන් සොඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ඉතා ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද…”

මහාචාර්ය සම්පත් අමරතුංග පැවසු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව අප්‍රේල් 12 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සිසු සිසුවියන්

උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රශ්න කර ඇත්තේ

“විශ්වවිද්‍යාල හා පාසල් නැවත විවෘත කරන දින ප්‍රකාශ කිරීමට තරම් ම විශ්වාසයකින් මෙම අනතුර පහව යන බව තහවුරු කර කියන්නේ කෙසේද?”

යනුවෙනි.

බලමණ්ඩලයේ කැඳවුම්කාර රත්කරව්වේ ජිනරතන හිමියන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ කොරෝනා අවදානම පහව ගිය බවත්, දැන් අවදානමක් නොමැති බවත්, නැවත සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බවත් වගකීම් සහගත, විධිමත් පැහැදිලි කිරීමක් සමග සහතිකයක් රජය විසින් ජනතාවට ලබාදිය යුතු බවත් ය.

පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමත් සමග දුරස්ව හිඳීමේ පිළිවෙත එක් වරම බිඳී ගොස් ආසාදනය වීමේ අනතුර ඉහල යනු ඇති බවට බිය පලවී තිබේ.

රෝගාතුර වීම වැළක්වීමේ ක්‍රියාමාර්ගයක් වන සමාජ දුරස්ථකරණය ලිහිල් කළ යුත්තේ ක්‍රම ක්‍රමයෙන්, විද්‍යාත්මක පදනමකින් පමණක් බව පෙන්වා දෙන රජයේ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් හදිසි තීන්දු ගැනීමේ අවදානම ගැන ආණ්ඩුවට අනතුරු අඟවා සිටී.

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පෙන්වා දෙනු ලබනුයේ පැනවූ තහංචි ඉවත් කිරීම මෙන්ම ලිහිල් කිරීම සඳහා හදිසි නොවිය යුතු බවයි. ඒ සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පුර්ව අනාවැකි පල කිරීමට මේ මොහොත කල් වැඩි බව පෙන්වා දෙනු කැමැත්තෙමු…”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප්‍රේල් 15 දා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සරසවි ඇදුරන්

රෝගීන් ගේ සංඛ්‍යාව ඉහල යාමේ අවදානම වසංගත සහ වෛද්‍ය විශේෂඥයන් විසින් බැහැර කර නැති විටක විශ්වවිද්‍යාල විවෘත කිරීමේ අතාර්කික බව සරසවි ඇදුරන් විසින් බලධාරීන්ට පෙන්වා දී තිබේ.

“වසංගතය දුරු කර ලීම සඳහා කාල රාමුවක් නිවැරදිව පෙර දැකීමට සකල ලෝකයේම විශේෂඥයන් අසමත් වී සිටින අවස්ථාවක අදාළ දින වකවානු වලදී විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට ඔබ ගත් තීන්දුවට පදනම් වූ තාර්කික භාවය පහදා දෙන්නේ නම් කෘතඥ වෙමු…”

යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් රොහාන් ලක්සිරි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලියා ඇති ලිපියකින් දන්වා ඇත.

රට තුල ගන්නා ලද ක්‍රියාමාර්ග හමුවේ වසංගත තත්වය පාලනය වී ඇතිද යන්න සහතික වීම මෙන්ම පාසල් රාජකාරි ස්ථාන හා වෙනත් අත්‍යාවශ්‍ය ස්ථානයන්හි වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නිවාරණ පියවර අනුගමනය කිරීමට සැලැස්මක් තිබීමත් රට තුල පැනවූ සීමා ලිහිල් කිරීමේදී සැලකිල්ලට ගතයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අප්‍රේල් 14 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලියු ලිපියකින් පෙන්වා දී තිබුණි.

“එම ලිහිල් කිරීම්, රෝගයට අදාලව සැලකිය යුතු කරුණු පිළිබඳව බරපතල අවධානය යොමු කර විශේෂඥ උපදෙස් මත කළ යුතු අතර එය කිසිසේත්ම දේශපාලනික, සමාජීය හෝ සංස්කෘතික කරුණු මත සලකා නොකළ යුතු බව පැහැදිලිය.”

යාපනය සරසවිය

කොරෝනා වයිරස් අනතුර පහව ගිය බවට සහතිකයක් නැතිව විවෘත කරනු ලබන විශ්ව විද්‍යාල තුලදී වයිරසයට නිරාවරණය වීමට අමතරව උතුරේ උපාධි අපේක්ෂක අපේක්‍ෂිකාවන්ට නේවාසික පහසුකම් හිඟ කම නිසා තවත් අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට යාපනය සරසවි සිසුහු අනතුරු අඟවති.

“විශ්වවිද්‍යාලේ නවාතැන් නැති නිසා පිට පළාත් වල ඉඳන් බස් වල එන්න වෙලා තියෙන අයට ඇඳිරි නීතිය දාලා තියෙද්දී වෙලාවට දේශන වලට යාම ඒමත් ප්‍රශ්නයක්…”

යැයි යාපනය කලාපීඨයේ ශිෂ්‍ය නායක පාක්‍යනාදන් උජාන්තන් පවසයි.

ආණ්ඩුව තීරණය කර ඇති ලෙසම මැයි 4 දා විශ්වවිද්‍යාල විවෘත කරනු ලැබුවොත් ගතයුතු පියවර සම්බන්ධයෙන් ආචාර්ය වරුන් හා සාකච්ඡා කොට තීන්දු කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

රජය විසින් විශ්වවිද්‍යාල විවෘත කිරීමට දින නියම කර ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක වලට දින නියමයකින් තොරව ඇඳිරි නීතිය පනවා තිබියදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button