දේශපාලන

බලංගොඩ නගරාධිපති එලවළු විනාශ කිරීමට හේතුව දේශපාලන කෝන්තරයක්

බලංගොඩ නගරයේ වෙළඳාමේ නිරත වූ අයකුගේ එළවළුවලට භූමිතෙල් දැමීමේ සිදුවීම දේශපාලන කෝන්තරයක ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

කෝවිඩ්-19 වසංගත සමයේ ප්‍රාදේශීය සැපයුම් අවසර ලබාදීමේදී වෙළඳ ආධිපත්‍යයට දේශපාලන තරගයක් ඇවිලයමින් පවතින අතර එහිදී ජනතා අවශ්‍යතා වෙනුවට ප්‍රමුඛ වී ඇත්තේ ලාභ අරමුණුය.

ඊයේ දිනයේ වාර්තාවුණු එම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ නගරාධිපති (එජාප) චමික වැවේගෙදර පවසන්නේ දිගින් දිගටම කළ දැනුම්දීම් නොතකා දේශපාලන බලය යොදවාගෙන අනවසර වෙළඳාමේ නිරත වූ අයෙකු සම්බන්ධයෙන් එම පියවර ගත් බවය. මේ ආකාරයට එළවලු වෙළඳාමට සම්බන්ධවී ඇත්තේ 2018 පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයකු බව නගරාධිපතිවරයා පවසයි. මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව ඇති මෙම සිදුවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කරමින් ඔහු මාධ්‍ය වෙත නිවේදනයක් යවා ඇත.

“මේ කොවිඩ් -19 වෛරස් අවදානම ඇතිවුණු වහාම මධ්‍යම රජය ක්‍රියාත්මක වෙන්නත් කලින්ම අපි බලංගොඩ නගරසභාව හැටියට පොලිසිය, PHI මහත්වරුන් ඇතුළු සියලුම අංශ එකතු කරගෙන කමිටුවක් හදලා, අනවශ්‍ය කඩවහලා, පාරවල් වහන්න ලෑස්ති කරලා, විෂබීජහරණයට අවශ්‍ය බඩු ගෙනත් ලොකු සැලැස්මක් හදලා දිගටම ඒක ක්‍රියාත්මක කරගෙන ආවා….”

නගරාධිපති විසින් පවසන ආකාරයට අනවසර වෙළඳාම් තහනම් බවට අප්‍රේල් 06 වෙනිදා නගර සභාවේ ප්‍රචාරණ රථවලින්, පොලිස් ප්‍රචාරණ රථවලින් දැනුවත් කිරීම් කර ඇත. අප්‍රේල් 09 වෙනිදා ප්‍රශ්නය ඇති කළ එළවලු ලොරියේ හිමිකරුට අවවාද කිරීම් කළද එය නොතකා හැරි නිසා තමන් නීතියට කටයුතු කළ බව නගරාධිපති කියා සිටියි.

මේ වනවිට එළවළු මෙන්ම වෙනත් සැපයුම් වෙළඳපොළ හරහා පැමිණි යාන්ත්‍රණය බිඳ වැටී ජනතාව මහත් පීඩාවකට පත්ව සිටී. මෙම තත්වය යටතේ ප්‍රාදේශීය දේශපාලකයන් බොරදියේ මාළු බාන්නට පටන්ගෙන ඇති අතර සියලු සැපයුම් සඳහා වෙළඳ අවසර ලබාදී ඇත්තේ පොදුජන පෙරමුණේ ව්‍යාපාරිකයන්ට හා ආධාරකරුවන්ටය. කෙසේවෙතත් දේශපාලන ගැටුම් මතු කරමින් මෙතෙක් ප්‍රාදේශීය වෙළඳ ඒකාධිකාරයන් දරා සිටි එජාප හෝ පොදුජන පෙරමුණේ දේශපාලකයන් හා ඔවුන්ගේ මැරයන් ගැටෙන තත්වයක් උද්ගත වී ඇත. බලංගොඩ සිදුවීම එහි අවලස්සන අත්දැකීමක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button