විශේෂාංග

බොරුවට පවතින්න දෙන්න !

Small Foot චිත්‍රපටයේ සිටින යෙටීලාට අනුව පුංචි පාදයන් (මිනිස්සු) නැත. මුතුන්මිත්තන්ගේ සිට එන කතාව ඔවුහු විශ්වාස කරති. ඔවුන් ඉන්නේ වලාකුළුවලට ඉහළින් ය.

ඔවුන්ගේ ලෝකයෙන් එළියට, පොළොවට ගොස් එන සුහද යෙටී, නමින් මීගෝ පුංචි පාදයන් සිටින බව කියයි. එය තහවුරු කරන්නට වැඩ කරයි.

එහෙත් මීගෝගේ තාත්තා, පුත්‍රයාට මෙසේ කියයි.

“වඩා යහපතක් වෙනව නම් බොරුවට පවතින්න දෙන්න.”

පාර්ලිමේන්තු බොරුව

පාර්ලිමේන්තු යන අය ජනතාව වෙනුවෙන් වැඩ නොකරන බවත්, ඔවුන් නියෝජනය නොකරන බවත් තහවුරු ය. ඒ විදිහට ගත් විට, ඔවුන් නඩත්තු කිරීමත්, පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට මුදල් යෙදවීමත් තේරුමක් නැති දෙයකි. ඒ කියන්නේ බොරු වැඩකි.

ජනතා නියෝජනය

එහෙත් කුමන තත්ත්වයක් යටතේ හෝ තනි කැමැත්තට පාලනය කිරීමකට වඩා, අවුරුදු පහකින් වෙනස් කිරීමේ පදනමින් පාර්ලිමේන්තු ගිය, ජනතාව නියෝජනය කරන ‘පිරිසක්’ තීරණ ගැනීම වඩා වැදගත් ය. ඒවා යහපත් හෝ අයහපත් හෝ විය හැකිය. ඒ කියන්නේ බොරු වැඩක් වුවද, තිබිය යුතුය.

බොරුව පවත්වාගෙන යෑම

පාර්ලිමේන්තුව බොරු වැඩක් ලෙසත්, තනි කැමැත්තට පාලනය කිරීමක් වඩා වැදගත් ලෙසත් සමාජගත කරමින් සිටින විට, අප්‍රේල් 19 වැනිදායින් පසු කොවිඩ්-19 වෛරස් අවදානම නැති වන බව සෞඛ්‍ය ඇමතිවරිය පැවසීමත්, ඡන්දයට තව කල් ඇති නිසා කලබල නොවන්නැයි ව්‍යංග පණිවිඩයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සිදු විය. ඒ කියන්නේ බොරු වැඩක් වුවද, පවත්වාගෙන යා යුතු බවයි.

මීටරයේ දුර

බොරුව, බොරුවක් ලෙස සමාජගත කිරීමේත්, බොරුව, ඇත්තක් කොට වාසි ගැනීමේත් තියරියේ දුර මීටරයක් නම් නැත.

වලාකුළු වලංගුද?

බොරුව පවත්වාගෙන යෑමේ අරමුණ Small Foot චිත්‍රපටයේදී යහපත් ය. පුංචි පාදයෙකු යෙටීලාගේ ලෝකයට ආ පසු ඔවුන්ට සිදු වන සියලු වින්නැහි සිදු වන්නේය. තවදුරටත් වලාකුළුවලට ඉහළින් සැගවී සිටින්නට ඔවුන්ට ඉඩක් නැත.

වලාකුළුවල දැක්ම

ගෝඨාභය රාජපක්ෂ නම් යෙටීට, මහින්ද රාජපක්ෂ නම් පුංචි පාදයාගෙන් ගැලවිය නොහැකිය. නැත, හරියටම කියන්නේ නම්, එසේ ගැලවිය නොහැකි බවක් මේ දෙපාර්ශ්වය අතරේ සිටින වලාකුළුවලට පෙනෙන්නේය. කෙසේ වෙතත් ගෝඨාභය ඉන්නේ වලාකුළුවලට ඉහළින් ය. මහින්ද ඉන්නේ පොළොවේ ය.

මහින්ද ගෝඨාභයටත්, ගෝඨාභය මහින්දටත් කියන්නේ එකම දෙයකි. “අපිට යහපතක් වෙන විදිහට වැඩ සිද්ධ වෙන්න ඕනෙ.”

බොරුව යහපතට

මහජන කැළඹීම් ඇති කිරීමේ උත්සාහය හේතුව ලෙස දක්වමින්, සිදු කරන අත්අඩංගුවට ගැනීම්වලින් කීයකට මහජන කැළඹීම් ඇති කළ හැකිද, එසේ වූයේද ? පොලිස් ආඥා පනතේ 98 වන වගන්තියට අනුව ඒවා කීයකින් ජනතාව අතර සංත්‍රාසයක් ඇති වී තිබේද ? වඩා වැදගත් වන්නේ මේ නීතිවල තිබෙන දේවල් ඇත්තටම මේ ක්‍රියාවලියට අදාළ ද යන්න ය. උත්තරය නැත. අවශ්‍ය වන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහසට වැට බැද, බොරුව ශක්තිමත් කිරීම ය. කොටින්ම බොරුව යහපතට යොදා ගැනෙන්නේ එසේ ය.

මුඛවාඩම්

වෛරස් වසංගත තත්ත්වයේදී, එයින් ආරක්ෂා වීමට මුව ආවරණ යොදාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මගින් ජනතාව දැනුවත් කළේය. එහෙත් ඒ අතරේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මුඛවාඩම් බැදගෙන සිටින ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂවලට හෝ පසුගිය කාලය පුරා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධානවලට හෝ එවැනි ක්‍රියාකාරිකයන්ට හෝ උපදෙස් දීමක් දැක්කේ නැත.

සංඥාවේ වාසිය

අතිශය බහුතරය කට වසාගෙන සිටීමෙන් ලබා දෙන සංඥාවේ වාසිය යන්නේ බොරුව පවත්වාගෙන යෑමේ මහ මොළකරුවන් අතට ය. ඔවුහු එය වඩා යහපත් බවට මතයක් සමාජගත කරති.

වේලාසනින් අවදි වීම

වේලාසනින් අවදි වූ සුළුතරයට ඇතැම් විට සීතල ඉවසාගෙන ඉන්නට මෙන්ම, මදුරුවන් තළන්නටද සිදු වනු ඇත. එසේම බහුතරය මෙසේ ද කියනු ඇත.

“නින්ද යන්නැති එක ලෙඩක්.”

බොරුවේ ලොකුම සහායකයා

ඇහැරවීමට අසීරුම පුද්ගලයන් වන්නේ බොරුවට නිදාසිටින්නන් ය. බොරුව පවත්වාගෙන යෑමට ඉහළම දායකත්වය සපයන්නේ ද ඔවුන් විය හැකිය. එවිට සිදුවන්නේ කුමක්ද ? සියල්ලන්ට යළිත් චිත්‍රපටය මුල සිට බලන්නට සිදු වීම ය.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button