දේශීය

බේරුවල මුස්ලිම් පල්ලියේ යාඥා කිරීමේ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම බොරුවක්

ඇඳිරිනීතිය නොතකා බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිස් එක්රැස්වූ බවටත් එම පල්ලියට නිරෝධායන කටයුතුවලට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට පිරිසක් විරෝධය දැක්වූ බවටත් සමාජ ජාලා සහ ඇතැම් වෙබ් අඩවිවල පළවී ඇති ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව බේරුවල ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් පැවසීය.

බේරුවල කුට්ටිමලේ පල්ලියට පිරිසක් රැස්වූයේ වෛද්‍යවරුන්ගේ දැනුම්දීම මත බවත්, ඇඳිරිනීතිය නොතකා නීති විරෝධීව එහි සිටි බවට සහ එහි යාඥාවක් පැවැත්වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඔහු සිද්ධිය ගැන මෙලෙස පැහැදිලි කළේය.

“බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ නාගොඩ රෝහලේ වෛද්‍යවරු ප්‍රදේශවාසීන්ට දැනුම් දීලා තියෙනවා ඊට කලින් දවසේ කොරෝනා සම්බන්ධයෙන් බලන වෛද්‍ය පරීක්ෂණයට සහභාගී නොවූ සැක සහිත අය ඉන්නවා නම් පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමල පල්ලියට පැමිණෙන ලෙස….

පරීක්ෂණයට ගිලන් රථයකුත් ඇවිත් තියනවා. මිනිස්සු හිතලා තියනවා කොරෝනා ආසාධිතයනුත් එතන ඉන්න පුලුවන් කියලා. එයින් කොරෝනා බෝවෙයි කියලා අවට අය ඊට විරුද්ධ වුණා. එයාලා කිව්වා පිට්ටනියකට ගිහින් ටෙස්ට් කරන්න කියලා. ටෙස්ට් කරන්න ආපු අය අවට ගෙවල්වල අය නෙමෙයි. ඒ නිසා අවට අය කලබල වෙලා තිබුණේ තමන්ටත් කොරෝනා බෝවෙයි කියන බයට. පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස්සුන්ව දැනුම්වත් කළාම ඔවුන් එය පිළිගෙන වැඩකටයුතු කර ගන්න ඉඩ දුන්නා.”

මහගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඩබ්ලිව්. මදුර ශාලික දෙරණ ටෙලිවිශනයට මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහත පරිදි ය.

“ඊයේ නාගොඩ මහ රෝහලෙන් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා. පෙරේදා දින එකතු කරන ලද කණ්ඩායමේ මග හැර ගිය පිරිසක් මේ ගමේ ඉන්නවා. එතකොට අපිට අවශ්‍ය වුණා නිවෙස් වල ඉන්න මේ කණ්ඩායමෙන් සාම්පල් ගන්න. ඒ ගන්න අවස්ථාවේ ජනතාවට පොඩි බියක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අපි කරුණු පැහැදිලි කරලා මේක සමථයකට පත් කළා. ඒ ඇරෙන්න කිසිම තත්ත්වයක් ඇති වුනේ නෑ. අපිට මුස්ලිම් ප්‍රජාව විශාල සහයක් දෙනවා මේ තත්ත්වය පාලනය කිරීම සඳහා”

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පැතිර ගිය ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් කිහිපයක් පහත දැක්වෙයි.

පසුගිය දින පොලිසිය විසින් පවසා සිටියේ අන්තර්ජාලය මඟින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්, නීතිය ක්‍රියාත්මක කරන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button