දේශීය

කොරෝනා කාලේ පඩි නැතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපහසුතාවක

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ආයතන විසින් ගෙවන දීමනාව මාස ගණනක් තිස්සේ ප්‍රමාද කිරීම නිසා ඔවුන් ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දී සිටින බව ජනමාධවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සාමාජිකත්වය දරන ලාංකිය මාධ්‍ය සංවිධානයක් පෙන්වා දී තිබේ.

සියළුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් යොමු කරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දී ඇත්තේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා ගෙවනු ලබන “සොච්චම් වූ දීමනාව” පවා මාධ්‍ය ආයතන කිහිපයක් හැර බොහෝ මාධ්‍ය ආයතන මාස ගණනාවකින් ගෙවා නොමැති බව සිය සම්මේලනයට වාර්තා වී ඇති බවයි.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නොමැතිව නිරන්තරව මුහුණ දෙන මෙම දුක්ගැනවිල්ල පිළිබඳව කාලයක් තිස්සේ රාජ්‍ය බලධාරීන් වෙත පැමිණිලි කළද අදටත් නිසි පිළියමක් දෙන්නට අසමත්ව ඇති බව එහි සදහන්ය.

රටම පමණක් නොව මුළු මහත් ලෝකයම බලවත් ව්‍යවසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශිය මාධ්‍ය වේදියාගේ දරු පවුල් සඳහා, ඔවුන්ගේ ආහාර ප්‍රමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ දෙමින් සිටින බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එවන් පසුබිමක් තුළ වුවද රටේ ජනතාවට අඛණ්ඩව තොරතුරු ලබා දීමට ප්‍රාදේශිය මාධ්‍යවේදියා සිය දෛනික වගකීම් අද දවසේත් නොපිරිහෙලා ඉටුකරමින් සිටින බව මාධ්‍ය ආයතන මෙන්ම රටේ ජනතාවත් හොඳාකාරවම දන්නා බව මාධ්‍ය සේවක වෘත්තී ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි සහ එම සංගමයේ සභාපති කරුණාරත්න ගමගේගේ අත්සනින් යුතුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ලිපියේ සදහන්ය.

මෙම තත්වය පිළිබඳව ගැඹුරින් සලකා ඔවුන් වෙත ගෙවිය යුතුව පවතින හිග මුදල් නොපමාව ගෙවීමට කාරුණික වන ලෙස එම සම්මේලනය සියලුම මාධ්‍ය ආයතන වෙතින් දැඩිව ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button