දේශීය

මුස්ලිම් ඉස්කෝල දෙනවා කියපු මහින්දානන්ද, මුස්ලිම් මිනිස්සුන්ට චතුරත් එක්ක ගැහුවේ මෙහෙමයි….

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පිරිසක‌ගේ ජාතිකත්වය උළුප්පමින් ජාතිවාදය ඇවිස්සීමට රාජපක්ෂවාදී හිටපු අමාත්‍යවරයකු හා ලංකාවේ ජනප්‍රිය නිවේදකයකු ප්‍රකට ටෙලිවිෂන් චැනලයක් ඔස්සේ හිතා මතාම ගන්නා උත්සාහයක් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිවේදක ලෙස වසර දෙකක් පිට පිටම ස්ලිම් නීල්සන් සම්මානය දිනාගෙන ඇති චතුර අල්විස් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාතිවාදය පැතිරවීමට උත්සාහ දරා ඇත්තේ දෙරණ ටෙලිවිශනයේ විකාශය කෙරෙන දේශපාලන වැඩ සටහනක දී ය.

“කොරෝනා ව්‍යසනය පරාජය කරන්නේ කෙසේද?” යන්න තේමා කරගනිමින් 2020 මාර්තු 31 දින පැවැති දෙරණ වාද පිටිය වැඩ සටහනේදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සඳහන් කරන්නේ එදින ශ්‍රී ලංකාවෙන් වාර්තා වු නව කොරෝනා වෛරස් ආසාදිතයන් 20 දෙනාගෙන් 19 දෙනකු මුස්ලිම් ජාතිකයන් බවයි.

හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය ජාතිවාදය ඇවිස්සීමක් ලෙස තමන්ට අවබෝධයක් ඇති බව චතුර අල්විස් නිවේදකයා එළිපිට සඳහන් කරන්නේ “එහෙම නම් සදහන් කළාම, ජාතියක් විදිහට සදහන් කළාම මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා පීඩාවක් තියනවා. ඒ අය කණ්ඩායමක් විදිහට ඒ අයගේ නම සදහන් කරන්නේ ඇයි? සිංහල මනුස්සයෙක් හම්බවුනාම සිංහලයෙක් කියන්නෑ. කතෝලික මනුස්සයෙක් හම්බඋනාම කතෝලිකයෙක් කියන් නෑ. ඇයි මේ මුස්ලිම් විතරක් කියන්නේ” යනුවෙන් විමසමිනි.

අමාත්‍යවරයාගෙන් පෙරලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ආකාරයක් එම වැඩසටහනින් ප්‍රචාරය වුවද, හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට මහත් උනන්දුවෙන් යුතුව අනුබල දුන් බව දැන්වීම් ප්‍රචාරය සඳහා ලබා දෙන කෙටි විවේකය තුලදී නිවේදකයා විසින් තහවුරු කරනු ලබන ආකාරය ප්‍රසිද්ධියට පත් වී තිබේ.

එවැනි ප්‍රකාශයක් සජීවි වැඩ සටහන තුලදී සිදු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් තමාට තුටු පඩුරු ලැබිය යුතු බව චතුර අල්විස් “දැන් මට ගානක් දෙන්න ඕනේ ඕක කියා ගන්න දුන්නට” යි සිනාසෙමින් පවසනු සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ වීඩියෝවේ දැකගත හැකිය.

“මේ අර විස්සේ සංඛ්‍යා ලේඛනය මම ඕනේ කමින්මයි ගැහුවේ” යි හිටපු ඇමැති අලුත්ගමගේ ඊට පිළිතුරු දෙමින් තමන් ජාතිකත්වය සඳහන් කළේ හිතාමතාම බව එහිදී තහවුරු කරයි.

මුස්ලිම් ජාතිකයන්ට පරිභව වන අයුරින් සිංහල ජාතිකවාදීන් සමාජ මාධ්‍ය තුළ දැක්වා ඇති සටහන් සම්බන්ධයෙන්ද විවේකී කාලය තුළ සාකච්ඡාවට භාජනය වන ආකාරය වීඩියෝ පටයේ සදහන්ව තිබේ.

මෙම දේශපාලන සාකච්ඡාව සදහා සහභාගි වී සිටි පොහොට්ටු පක්ෂයේ අරුන්දික ප්‍රනාන්දු, ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ එහිදී පළ කෙරුණු මුස්ලිම් විරෝධයට එරෙහිව වැඩසටහන තුළ හෝ දැන්වීම් විවේකය තුල කිසිදු හඬක් නගනු දැකගන්නට නොලැබිණි.

චතුර-මහින්දානන්ද වීඩියෝ පටයේ අන්තර්ගතය හිටපු මාධ්‍ය අමාත්‍යවරයකු වන මංගල සමරවීර පිළිකුලෙන් යුතුව හෙලා දැක තිබේ.

“පිළිකුල් සහගතයි, නින්දිතයි, අසික්කිතයි! C19 වෛරසයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ජීආර් හිතවාදී පෞද්ගලික මාධ්‍ය මුස්ලිම් විරෝධී උමතුවක් ඇති කරන්නේ කෙසේද යන්න පැහැදිලි සාක්ෂියකි. අපායේ නාලිකාවෙන් තවත් අදහසක්” යැයි හිටපු ඇමැති සමරවීර ට්විටර් පණිවිඩයකින් කියා ඇත.

කෙසේ වෙතත්, තම පක්ෂයේ මන්ත්‍රීවරයාගේ නිහඬ පිළිවෙත ගැන හිටපු අමාත්‍යවරයා කිසිත් පවසා නැත.

දෙරණ වාද පිටියේ මෙම ජාතිවාදී අදහස් පළ වී ඇත්තේ කොරෝනා මාරයාට බිලිවී මියගිය ඉස්ලාම් භක්තිකයකුගේ අවසන් කටයුතු ආගමානුකූලව සිදු නොකිරීම සම්බන්ධයෙන් මුස්ලිම් නායකත්වය විසින් විරෝධය පළ කිරීමත් සමග මුස්ලිම් විරෝධී විසකුරු ප්‍රහාර දියත් වන අවස්ථාවකය.

මීගමු වාසී මුස්ලිම් ජාතිකයකු මාර්තු 30 දා මියයාමෙන් අනතුරුව ඥාතීන්ට නොදන්වා ඉස්ලාම් ධර්මානුකුල වතාවතට පටහැනිව ආදාහනය කිරීම අයුක්තියක් බව මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ඇතුළු ඔහු නියෝජනය කරන ප්‍රජාවට විරුද්ධව සිංහල බෞද්ධ දැඩි මතධාරීන් විසකුරු ප්‍රහාර දියත් කොට තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 24 නිකුත් කළ මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 මාර්තු 27 වන දින නිකුත් කළ නිර්දේශ අනුව මියගිය කොරෝනා රෝගියෙකුගේ දේහයක් අදාහනය හෝ භූමදානය කළ හැකිය.

එහෙත්, මුස්ලිම්වරයකුගේ අවසන් කටයුතු සිදුකිරීමේදී එය උල්ලංඝනය කෙරුණු බව පෙන්වා දීමත් සමගම, එම නිර්දේශ හදිසියේම වෙනස් කර ඇත. නමුත් එම නිර්දේශ වෙනස් කිරීම පිළිබඳව රාජපක්ෂවාදී කිසිවෙකු කතා කළ බවක් දකින්නට තිබුණේද නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන දින කර ඇති සංශෝධිත නිර්දේශයේ භූමදාන කටයුතු සඳහා දී තිබූ ඉඩ ප්‍රස්තාව අහිමි කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වලට වෙනස්ව යමින් සිදු කර ඇති අලුත් නිර්දේශයේ දක්වා ඇත්තේ දේහය හැකි නම් පැය 12 ක් තුළ හෝ, එසේ නොහැකි නම් පැය 24 ක් තුළ ආදාහනය කළ යුතු බවයි.

ඉස්ලාම් බැතිමතකුගේ දේහය භූමදාන කිරීම සම්ප්‍රදායානුකුල ආගමික පිලිවෙතයි.

“කෝවිඩ් 19න් මියගිය පුද්ගලයන් භූමදානය හෝ ආදාහනය කළ හැකියි” යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

“ඡන්දෙන් අපිව දිනවලා දුන්නොත් මුස්ලිම් ඉස්කෝලයක් දෙනවා”

ජනාධිපතිවරණයෙන් මහනුවර දිනවා දුන්නොත්, මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් සාදා දෙනවා යැයි පැවසූ වීඩියෝවක් ජනාධිපතිවරණය සමයේ සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබුණා. එකල එසේ කියූ මහින්දානන්ද දැන් මුස්ලිම් විරෝධයකට බොරු සාක්ෂි හදමින්, ප්‍රකාශ කරමින් සිටිනවා.

පොලිස් නීති

මාර්තු 29 ඉරිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කර තිබුනේ කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගත ව ඇති තත්වය හමුවේ මහජනතාව කැළඹෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිකුත් කිරීම බරපතළ වරදක් බවයි.

ජාතිවාදය ඉස්මතු වීමට රුකුල් දෙන අයුරින් ව්‍යාජ තොරතුරු අඩංගු වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා තිබුනි.

කෙසේ නමුත් විද්‍යුත් නාලිකා ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය අවුස්සන්නන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා තීරණ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මේ තාක් නිකුත් කර ඇති බවක් දැන ගන්නට නැත.

අන්තර්ජාලයේ කෙටිකතාවක් පළකිරීමෙන් බුද්ධාගමට අපහාස කළ බවට චෝදනා නගා ලේඛක ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරා මේ මාසයට අවුරුද්දකි. චෝදනා ඔප්පු කෙරුනොත් වසර දහයක කාලයකට හිර දඬුවම් ලැබීමේ අවදානමටද ඔහු මුහුණ දී සිටි.

ඔහු සිරගතව සිටි කාලයේ දී මුස්ලිම්වරුන්ට ගල් ගසන ලෙස අනුශාසනා කළ අස්ගිරි නාහිමියන්ට එරෙහිව පොලිසිය විසින් ගන්නා ලද පියවරක් තවමත් දැනගන්නට නැත.

අප මේ පවසන්නේ කිසිවෙකුට පක්ෂපාතී දෙයක් නොව, සියල්ලන්ට සමාන නීතියක්, සාධාරණත්වයක් මේ රට තුල ක්‍රියාත්මක විය යුතුය යන මතය පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button