දේශීය

මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම තවත් විරෝධතා වලට මග පාදයි

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ වැසියන් අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකරු වූ හමුදා සෙබලාට ජනාධිපති සමාව දීම නව සම සමාජ පක්ෂයේ නායක පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

රජයේ ප්‍රතිපත්තිය එල්ලා මැරීම නතර කිරිම නම් මරණ දඬුවම ලබා සිටින සියලු සිරකරුවන් නිදහස් කළ යුතු බව නව සම සමාජ පක්ෂ නායකයා පෙන්වා දෙයි.

“තමන්ට ඕන වෙච්ච කෙනෙක් අල්ල ගෙන වඩා බරපතල කෙනෙක් අල්ල ගෙන එයාව නිදහස් කරලා ඊට වඩා අඩු එල්ලා මැරීමේ තත්වය පවත්වාගෙන යාම පිළිකුල් සහගතව අපි හෙළා දැකිය යුතුයි…”

යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසා ඇත.

අසීමිත තදබදයක් පවතින බන්ධනාගාරවල කොරෝනා වයිරසය පැතිරී යාම වැලැක්වීම සඳහා සුළු වැරදිකරුවන් සහ වැඩිහිටියන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුරාධපුර උද්ඝෝෂණයේ යෙදුනු රැඳවියන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබියදී මිරුසුවිල් සමූහ ඝාතනයට වරදකරු වී සිටි මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් කොට යවනු ලැබිණි.

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

ඔහු නිදහස් කර යැවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ දැඩි හෙලා දැකීමට ලක්ව තිබෙන අතර නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින ලාංකික සංවිධාන 22 ක් ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ ඕනෑම අපරාධයක් කරන හමුදා නිලධාරීන්ට ගැලවී යා හැකි බවට බිය ජනක පණිවුඩයක් ජනාධිපති විසින් සමාජගත කරනු ලබන බවයි.

මරණ දඬුවම හෝ එල්ලා මරා දැමීමට විරුද්ධ බව පවසන නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මරණ දණ්ඩනය හිමි කිසිම සිරකරුවකු නිදහස් කිරීම වැරදි බව වැඩි දුරටත් කියා සිටියේය.

සිංහලයන්ගේ ජනාධිපති

දෙමළ සමුහ ඝාතනයට වරදකරු වු සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් කිරීම දේශිය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් දැඩිව හෙළා දකින බව පෙන්වා දෙන දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ මාරිමුත්තු සතිවේල් පියතුමා, ඔහු නිදහස් කරනු ලැබුවේ කුමක පදනමකින් දැයි ජනාධිපතිවයාගෙන් ප්‍රශ්න කර සිටී.

මෙම ක්‍රියාව හරහා ඔහු දකුණේ සිංහල ජාතිවාදීන්ගේ ජනාධිපතිවරයා පමණක් බව හා උතුරේ දෙමළ ජනයාට අනාගතයක් නැතැයි පෙන්නුම් කර ඇති බවටයි ඒ පියතුමා අවධාරණය කර සිටින්නේ.

“අපි සිංහල ජනතාවගෙන් අහන්න කැමතියි එදා රතුපස්වලදි වතුර ඉල්ලා උද්ඝෝෂණය කරපු වෙලාවේදී හමුදාව තුවක්කු පාවිච්චි කළා. ඝාතනය කළා. අද මිරුසුවිල්හි ජනතාව දරුවකු ඇතුළු අට දෙනෙකු ඝාතනය කළ ඒ හමුදා සොල්දාදුවට නිදහස දුන්නා නම් රතුපස්වලදී ඝාතනය කරපු හමුදාවට ආරක්ෂාව දීම ඔබ සාධාරණ ලෙස පිළිගන්නවාද?”

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී කාටුනායක වෙළඳ කලාප කම්කරු නායකයකු මරා දැමීම හා හලාවත ධීවරයකු මරා දැමීම අනුමත කරනවා දැයි සත්‍යවේල් පියතුමා තව දුරටත් ප්‍රශ්න කළේය.

රටේ සියලු තනතුරු සඳහා හමුදා නිලධාරින් මිලිටරි පාලනයක් ඇති කිරීමට උත්සාහ දරන බවට අනතුරු ඇඟවු පියතුමා එය දකුණට වඩාත් අඳුරු අනාගතයක් බිහි කරනු ඇති බවට බිය පළ කළේය.

දෙමළ ජනතාවට එරෙහි අපරාධ සිදුකරන යුධ හමුදා නිලධාරීන් නීතියට ඉහලින් ඉන්නා බව මිරුසුවිල් ඝාතකයා නිදහස් කිරීම මගින් ජනාධිපතිවරයා විසින් ඔප්පු කර ඇති බව පවසන දෙමළ සිවිල් සංවිධාන සංසදය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලවා යුක්තිය ඉෂ්ට කරවා ගන්නා මෙන් යුද පීඩිතයන්ට බලකර සිටීම තව දුරටත් නොකරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button