සමාජ

සමූහ ඝාතකයකුට ජනාධිපතිගෙන් සමාව “සමාජයට බියජනක පණිවිඩයක්”

කොරෝනා භීතිකාව මධ්‍යයේ ඝාතක හමුදා නිලධාරියකු එල්ලුම් ගහෙන් බේරා ගෙදර යැවීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බියජනක පණිවිඩයක් සමාජ ගත කරන බවට ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් අනතුරු අඟවයි.

යාපනයේ මිරුසුවිල් හිදී ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන 22 ක් ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කිරීම නිසා ජනතාවට බිය ජනක පනිවිඩයක් සමාජගත වන බවයි.

මහාධිකරණ විනිසුරුවන් තිදෙනකුගෙන් සමන්විත නඩු විභාගයක දී මරණ දඬුවම නියම වු සුනිල් රත්නායක එම තීන්දුවට එරෙහිව ගෙන ආ අභියාචනයක දී පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2019 අප්‍රේල් 25 වන දින ඒකමතිකව වරදකාරීත්වය තහවුරු කර දඬුවම් නියම කළ බව පෙන්වා දෙන ඒකාබද්ධ නිවේදනය තව දුරටත් අවධාරණය කර ඇත්තේ සාජන් ආර්.එම්. සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමෙන්, ජනාධිපතිවරයා බලය අයුතු ලෙස භාවිතා කර ඇති අතර යුක්තිය අත්හැර දමා තිබෙන බවයි.

“මේ දෘෂ්ටි කෝණය අනුව, වැරදිකරුවකු වූ අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව මගින් මහජනයාට ලබාදෙන බියජනක ප්‍රබල පණිවුඩය වන්නේ, වරදෙහි බරපතලකම කුමක් වුවත්, අධිකරණය විසින් ඔවුන් වරදකරුවන් ලෙස නියම කළත්, ආරක්ෂක හමුදාවන්හි වැරදිකරුවන්ට දඬුවම් නොලැබෙන බවත් හා ඔවුන්ට ඕනෑම අපරාධයක් කළ හැකි බවත් මෙන්ම, වාර්ගික ප්‍රජාවන්ට එරෙහිව සිදුකළ ඕනෑම අපරාධයකට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවකට ද දඬුවම් නොලැබෙනු ඇති බවත් ය”.

කොරෝනා භීතිකාවෙන් අයුතු වාසි

එවන් තත්වයක් තුළ මේ වන විටත් දඬුවම් නොලබන ඉහළ බලයක් හිමිව සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට, අවසනාවන්ත සහ අවදානමට ලක්විය හැකි ජනතාවට එරෙහිව තවදුරටත් අපරාධ සිදුකිරීමට රජය විසින් ලබාදෙන රහසිගත දිරිගැන්වීම මෙයින් තවදුරටත් ධෛර්යමත් වනු ඇති බවට එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

“කොරෝනා වෛරසය හේතුවෙන් රට අගුළු දමා ඇති විටක, ජනාධිපතිවරයා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සාහසික අපරාධවලට වගකිව යුතු මිලිටරි අපරාධකරුවන් හට අපේ රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ද නොතකා හරිමින්, ඉහළම මට්ටමින් ආවරණයක් ලබා දෙන බව පෙන්වීම සඳහා, නීතියේ ආධිපත්‍යයට මෙසේ මාරාන්තික පහරක් එල්ල කිරීමට යි”.

මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු සහ සමූහ ඝාතකයෙකු වන හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් ආර්. එම්. සුනිල් රත්නායකට සමාව දීමේ දී, පස් හැවිරිදි දරුවෙකු සහ තවත් අහිංසක සිවිල් වැසියන් හත් දෙනකු ඝාතනය කළ හැඟීම් විරහිත ඝාතකයෙකුට ජනාධිපතිවරයා සිය ආශිර්වාදය ලබා දී තිබෙන බව සිවිල් සංවිධාන විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“වාර්ගික අවිශ්වාසය යුද්ධයක් දක්වා දුර දිග යාමට ඉඩ දෙමින්, මිලිටරි අපරාධකරුවන් පිළිබඳව කලාතුරකින් පමණක් වග වීමට ලක් කර ඇති මෙවැනි රටක දී, අපේ ජාතියේ ඉහළම අධිකරණය විසින් වැරදිකරු බව තීරණය කළ, සැබවින්ම වරදකරුවන් වී ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට, ජනාධිපතිවරයා විසින් මෙසේ සමාව ලබා දී තිබේ. එකී සමාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු අභියෝගයක් වන අතර මේ නිසා යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් අතර ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැතිවීම සහ විශ්වාසය තවදුරටත් සෝදා පාළුවට ලක් වීම සිදු වනු ඇත”

යුක්තිය සොරකම් කිරීම

“දුප්පත්කමින් හා මැනිය නොහැකි පුද්ගලික අහිමිවීම්වලින් සෘජුවම පීඩාවට පත් වූ පවුල් හතරකට යුක්තිය ගැන තිබූ කුඩා අස්වැසිල්ල ද සොරකම් කර උදුරාගෙන තිබේ”.

“තම දිවි පෙවත සළසන්නන් අහිමි කරවා දිවි ඇති තෙක් දිළිඳුභාවට හෙලා ඇති මෙවැනි මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීමක් හෝ හානිපූරණ ගෙවීමක් වසර ගණනාවක් තිස්සේ රජය හෝ රජයේ බලධාරීන් විසින් නොකිරීම කනගාටුවට කාරණයක් මෙන්ම ජාතික ඛේදවාචකයක් ද වේ.” එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

COVID-19 වෙතින් රට බේරා ගන්නා බව මවා පාමින් සිටින ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම “රණවිරුවන්” සිරෙන් නිදහස් කිරීම පිළිබඳ ඔහුගේ ගිනි අවුලුවන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට සිය ව්‍යවස්ථාමය බලතල භාවිතා කරමින් සිටින බව ඒකාබද්ධ නිවේදනය මගින් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාව මේ මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බැඳීම් වලින් ඉවත් වීම, අතුරුදහන් වූවන් නොමැති බව සහ අතුරුදහන් වූවන් සියල්ලන්ම මියගොස් ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම, සහ ඔහුගේ රජය විසින් සැකයට ලක් වූ යුද අපරාධකරුවන් හමුදා අංශවල මෙහෙයුම් ප්‍රධානීන් ලෙස උසස් කිරීම මෙන්ම ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා COVID 19 ට එරෙහිව ගැළවුම්කරුවෙකු ලෙස හඳුන්වනු ලැබීම සැළකිල්ලට ගත යුතු බව එමගින් අවධාරණය කර තිබේ.

“එසේම හමුදාව වැඩි වැඩියෙන් සියලුම සිවිල් කටයුතුවලට සම්බන්ධ වී සිටිති. උතුරු පළාතේ පමණක් නව මාර්ග බාධක සහ මුරපොලවල් හඳුන්වා දී තිබේ. වැරදිකරු වූ සමූහ ඝාතකයෙකුට සමාව දී ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ තිබේ.”

මෙම ක්‍රියාව නිසැකවම සමාජය තවදුරටත් හමුදාකරණයට ලක් කිරීමට ද රටේ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට ඇති කිරීමට ද හේතු වනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මෙම නිවේදනය පහත සදහන් සංවිධාන 22 විසින් ඒකාබද්ධව නිකුත් කර තිබේ.

මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය (CHRD), කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN), වාර්ගික අධ්‍යයනය සඳහා වනමධ්‍යස්ථානය (ICES), විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA), මානව හිමිකම් කාර්යාලය – මහනුවර, මානව උන්නති සංවිධානය (HEO)-අම්පාර, නීතිය හා සමාජය භාරය (LST), නැගෙනහිර සමාජ සංවර්ධන පදනම (ESDF), මන්නාරම කාන්තා සංවර්ධන සම්මේලනය (MWDF), ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය (NAFSO), පීඩිත කාන්තා සංසදය (AWF) – අම්පාර, ග්‍රාමීය සංවර්ධන පදනම (RDF), සමාජ සංවර්ධන ආයතනය (ISD)-මහනුවර, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CRRP), ඉන්ෆෝම් මානව හිමිකම් ලේඛණ මධ්‍යස්ථානය (INFORM), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, යුක්තිය හා වෙනස සඳහා මධ්‍යස්ථානය-ත්‍රිකුණාමලය, රයිට්ස් නව් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමුහිකය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR), අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button