පුරවැසි කොළම

පාර්ලිමේන්තු පැන ගැනීමේ නාමයෙන් ‘සිංහලබුද්ධාගම’ සිල්ලරට විකුණන පාදෙනියලා….

මාතෘකාව – නිර්මාංශ ආහාර රටාව සහ පෝෂණය
අදහස් ප්‍රකාශ කිරීම – වෛද්‍යය අනුරුද්ධ පාදෙනිය
කාලය – විනාඩි 1 තත්පර 47

පල්ලෙහා තියෙන්නෙ ඒ විනාඩි දෙකටත් අඩු කාලය ඇතුළත “නිර්මාංශ වීම සහ පෝෂණය” ගැන කතාවෙදි වෛද්‍යයවරයා පාවිච්චි කරපු වචන වලින් කිහිපයක්

අපේ අතීතය
පාරම්පරික
මහා වංශය
අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසය
ඒ වගේ ඉතිහාසයකට අහලකින් වත් ඉන්නෙ චීනෙ විතරයි
රටක් හැටියට
චීනය
ජාතියක් හැටියට
ඇමරිකාවෙ වයස අවුරුදු 200යි
බෞද්ධ දර්ශනය
බෞද්ධ වටපිටාව
පන්සිල් පද
ප්‍රාණ ඝාතය
රොබට් නොක්ස්

මේ වචන නූතන වෛද්‍යය විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කරන වෛද්‍යයවරයෙක්ගෙ කතාවක් ඇතුළට රිංගුවෙ කොහොමද කියලයි මං මේ කල්පනා කලේ….


මේ විදියට ගියොත් අනාගතයෙදි පාදෙනිය ගාවට ලෙඩෙක් බේත් ගන්න ගියාම කොහොම තත්වයක් තියෙයිද?

“ඩොක්ටර්…. මට පොඩ්ඩක් බඩේ අමාරුවක් වගේ ඩොක්ටර්…. ඉන්න බෑ හරිම අමාරුයි….”

“නම….? වයස….? හරි බලමු…. කොයි හරියෙද කියන්න බලන්න අමාරුව….”

“මෙන්න මේ හරියෙ ඩොක්ටර්”

“මේක මේ සුළු අමාරුවක්නෙ…. බය වෙන්න දෙයක් නෑ මම බේත් ටිකක් ලියල දෙන්නම්…. හැබැයි මෙහෙමයි…. අපි අවුරුදු 2500ක ඉතිහාසයෙන් පැවත එන ජාතියක්නෙ…. චීනෙ තමා අපේ ළඟින්වත් ඉන්නෙ…. ඔය පන්සිල් පද පහ තියෙනව නේද?…. ඒකට අනුව ඔයාට කාමමිත්‍යාචාරයෙන් වැළකෙන්න වෙනවා….එහෙම නොවුනොත් ඔයාගෙ සසර දික් කරනොගෙන කුමටද කුසලට කම්මැලි වන්නේ….?…. මේ බේත් ටික දවසට තුන්පාරක් කෑමට පසු බොන්න ඕන හොඳද”

“මොකක් කිව්වා ඩොක්ටර්….?”

“මේකනෙ…. ඇමරිකාවට ඉතිහාසයක් නෑ….අපිට තියෙනවා…. අපි ආඩම්බරයි…. ඇමරිකාවට ලැජ්ජයි…. බෞද්ධ වටපිටාවකට අනුව හැදුන අපි හාමුදුරුවො කියන විදියකට යහන්ගත වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න ලෙඩාගෙ කණ පැළෙන්න රතන සූත්‍රය හයියෙන් දාලා අහන්න සැලැස්සුවාම බඩේ අමාරුව කොහෙන් ගියාද නෑ….”

“යහන්ගත වෙලා….?”

” යහන්ගත වෙලා නෙමේ…. දැහැන්ගත වෙලා…. මම එහෙමද කිව්වේ…. ඕනෙම නම් යහන්ගත වුනත් වරදක් නෑ….ලෙඩා උණ හැදිලා ගැහි ගැහි ඉන්නවා නම් ඇඳේ නිදාගෙන ඉද්දි පිරිත් වතුර බාල්දියකින් එකපාර නාවන්න ඕන…. එවිට ලෙඩා නිට්ටාවටම සෝවාන් ඵලයට පත් වෙනවා…. දැන් අත්දෙක වැඳගෙන නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න….”

“ඩොක්ටර් පාදෙනිය නමස්කා….රය….?”

“ගෝඨායිම්බර මහා යෝධයා අස්සයෙක්ගෙ පිටේ නැගලා විදුලි වේගයෙන් දුවලා රිටිගල ජයසේනගේ බෙල්ල ගලවල යන්න ගහනවනෙ….අන්න එවෙලෙ තමා ඇමරිකාවෙ ඉතිහාසය අවුරුදු 200ක් නිසා සුද්දා අපේ වැව් දැකලා බය වෙලා ඉද්දි රාවණා අහස උඩින් දඬුමොණරින් ගියේ….”

“!@#$%^&&^$”

“අතීතයේ හෙළ රජදවස…. බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකු වාසය කරන සමයේ…. බුද්ධදාස රජතුමා සරපයාගෙ ගෙඩිය පළා පල නෙලලා නැවතත් රජමාළිගාවට සපැමිණෙන කල්හී…. මහා නාග රාජයෙක් ප්‍රාර්භූත වෙලා මහෞෂධ පණ්ඩිතයන්ට දුන්නු බඩේ ලෙඩේ සුවකරන පාරම්පරික රහස් බේත් වට්ටෝරුව මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට…. මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට…. මුඛයෙන් මුඛය රුපියෙලෙන් රුපියල එකතු කරල…. එකතු කරල….”

“ඩොක්ටර් බේත් ලිව්වා නේද? මම ගිහින් එන්නද?”

“හා…. ඔව්…. ඔව්…. පරක්කුත් වුනා නේද….? අපි පාරම්පරිකව සැලකුවොත් පරක්කු වුන ජාතියක් නෙමේ එදා ඉඳල…. රොබට් නොක්ස්ගෙ වාර්තා වල සඳහන් වෙනවා අපේ….”

“හරි හරි ඩොක්ටර් ගිහින් එන්නම්….”

“ආ…. ගිහින් එන්න එහෙනම්. සුවපත් වෙත්වා පිංවත….”


යන විදියට නම් මේ මනුස්සයට ඉතුරු වෙලා තියෙන්නෙ තට්ටෙ ගාලා සිවුරක් ඇඳගෙන ඇවිත් බණ කියන්න විතරයි.

වෛද්‍යයවරු බණ කියන…. හාමුදූරුවරු කුණුහරප කියන…. දේශපාලකයො පන්සල් යන…. මහ අරුම පුදුම උඩුයටිකුරු වෙච්චි රටක් බන් මේක….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button