විශේෂාංග

සුනිල් රත්නායක – ඇත්ත කතාව 02

(මහේෂ්වරන්ගේ කතාව) - නීතීඥ අථිල අතාවුද

සුනිල් රත්නායක – ඇත්ත කතාව 01

2000 වසර වන විට පොන්නදුරෙයි මහේෂ්වරන්ගේ වයස අවුරුදු 21ක් විය. මහේෂ්වරන් ලබාදුන් සාක්ෂියට අනුව ඔවුන්ගේ නිවාස කාලතුවක්කු ප්‍රහාර වලට ලක්වීම හේතුවෙන් තමන්ගේ නිවාස අතහැර කරවෙඩ්ඩි ප්‍රදේශයට යාමට ඔවුන්ට සිදුවී ඇත. මහේශ්වරන් ප්‍රකාශ කරන ආකාරයට මෙම සිද්ධිය සිදුවූ දිනයේ ඔහු ඉහත සදහන් කළ කණ්ඩායම සමග පැමිණ තම තමන්ගේ නිවාස පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත වී තිබේ. මෙම පිරිස අතර යන්තමින් හො සිංහල භාෂාව කතාකළ හැකි පුද්ගලයෙකුට සිටියේ රවිවර්මන් පමණි. කෙසේ වෙතත් මෙකී රවිවර්මන් ආබාධිතයෙකු විය. ඔහු කුඩාකලදී සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක ඉන්දියානු සාමසාධක හමුදාව විසින් භාවිතයට ගත් ජීව ෂෙල් වෙඩිල්ලක් ඔහුට හමුවී ඇත. එය කුමක්දැයි නොදත් දරුවා එය පොළවේ ගසා ඇත්තේ පිපිරීමකට මග පාදමිනි. මෙම පිපිරීම හේතුවෙන් ඔහුගේ වම් අත වැළමිටට පහළින් ඔහුට අහිමි වී ඇත. මෙම අබාධයේ අදාළත්වය පසුව සදහන් කෙරේ.

ඔවුන් පෙර ගස දෙසට පියමනිද්දී ඔවුන් දෙසට ආවේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකි. එක් අයෙකු අත ගිනි අවියක් තිබූ අතර අනෙකා අත පිහියක් විය. ඔවුන් සියලුදෙනාටම දණගැසීමට අණ ලැබුණු අතර භට පිරිස් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. රවිවර්මන් තමන්ට වැටහෙන පරිදි කැඩුණු සිංහලෙන් තමන් එම ප්‍රදේශයට පැමිණි හේතුව පැහැදිලි කරන ලදී. මේ මොහොතේ එක් සොල්දාදුවෙකු එතැන රැදී සිටියදී අනෙකා එතැනින් ඉවත්ව යනු දක්නට ලැබුණි. මද වේලාවකට පසු ඔහු ආපසු පැමිණියේ තවත් හමුදා පුද්ගලයන් සිව් දෙනෙකු කැටුවය.

ඔවුන් පැමිණ මහේෂ්වරන් ඇතුළු ගැමියන් පිරිසට පහර දෙන ලදී. මහේෂ්වරන් ප්‍රකාශ කරන පරිදි ඔහුගේම සරම ගලවා ඔහුගේ ඇස් වැසෙන සේ බැද ඇත. ඇස් බදින අවස්ථාවේදීද මහේෂ්වරන් සමග පැමිණි අනෙකුත් ගැමියන් ඔහු අසළ සිට ඇත. ඒ සමගම ඔහුට නැවතත් පහරක් වැදී සිහි විසඥ තත්වයට පත්වී තිබේ. මද වේලාවකට පසු නැවතත් මහේෂ්වරන්ට සිහිය ලැබී ඇති අතර ඒ මොහොතේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුගේ අත් දෙකෙන් ඔසවාගෙන රැගෙන ගොස් වැටකට උඩින් විසිකරනු ලැබ තිබේ. ඒ සමගම ඇස් ආවරණය කර බැද තිබූ සරම කම්බි වැටේ පැටලීමෙන් ගැලවී ඇති අතර ඒ මොහොතේ තමා සමග කලින් සිටි ගැමියන් කිසිවෙකු තමා අසළ නැති බව මහේෂ්වරන් දැක තිබේ. ඉන්පසු ඔහුව වැසිකිළි වලක් ආසන්නයට ගෙනගොස් ඇත. වැසිකිලි වලේ උඩ ස්ලැබ් එක මත ඇති ලේ සලකුණුද වැසිකිලි වල තුල යම් දැගලීමක්ද මහේෂ්වරන් නිරීක්ෂණය කොට තිබේ. තමා සමග ඇති අනෙකුත් අය මරා දමා ඇතැයිද තමාටත් එම ඉරණමම අත්වනු ඇතැයිද බියවූ මහේෂ්වරන් තමාගේ ඇස් බැද තිබූ සරොම සැකසීමට ළගට පැමිණි හමුදා පුද්ගලයන් දෙදෙනා තල්ලු කර දමා කැලෑවට පැන දුවා තිබේ. එසේ දිවගිය මහේෂ්වරන් මෙම සිද්ධියේදී මියගිය සින්නයියා විල්වරාසා නැමැත්තාගේ නිවසට යට ඇදුම පිටින්ම දුවගොස් විල්වරාසාගේ බිරිදගෙන් සරමක් ඉල්ලා ඇදගෙන විල්වරාසාගේ නිවසේ සිට සැතපුම් කාලක් පමණ එපිටින් වූ තම නැන්දණියකගේ නිවසේ රාත්‍රිය පහන් කර ඇත. පසුදින උදෑසන මහේෂ්වරන් තම පියා මුණගැසීම කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ තාවකාලික ලැගුම් පොල වෙත යන ලදී. මහේෂ්වරන් විසින් තමන්ට මුහුණපෑමට සිදුවූ සිදුවීම් තම පියාට විස්තර කර ඇත. එදිනම සවස මේ පිළිබදව මහේෂ්වරන්ගේ මව විමින් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී සංවිධානයේ කාර්යාලයට පැමිණිලි කොට ඇත. ඊපීඩීපී පක්ෂයේ සාමාජිකයන් එදින සවස මහේෂ්වරන් බැලීමට පැමිණ ඇති අතර ඔහුව පසුව චන්දිගාර් රෝහලට ඇතුලත් කර ඇත. දෙසැම්බර් 22 වන දින ඔහු රෝහලෙන් බැහැර වී නිවසට ගොස් තිබේ. ඊටත් පසු දින ඔහු හමුවීමට හමුදා පුද්ගලයින් පැමිණ ඇති අතර දින කිහිපයකට පෙර ඔහුටත් තවත් ගැමියන් කිහිපදෙනෙකුටත් මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබදව විමසා ඇත. ඊටත් පසු දින එනම් දෙසැම්බර් 24 වැනි දින මහේෂ්වරන් හමුවීමට නැවතත් පැමිණි යුධ හමුදා පොලිසියේ නිලධාරීන් මහේෂ්වරන්ද ඔහුගේ දෙමාපියන්ද ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන්ද ග්‍රාම නිලධාරීන්ද සමග මහේෂ්වරන් ප්‍රකාශ කරන වැසිකිළි වල තිබෙන ස්ථානයට ගොස් තිබේ. වැසිකිලි වළ තුල තිබී ඔවුන්ට හුමවී ඇත්තේ මියගිය එළුවකුගේ සහ සර්පයෙකුගේ ශරීර කොටස්ය.

මහේෂ්වරන් ඇතුළු ඉහත කී පිරිස වැසිකිළිවල ආසන්නයේ සිටින විට තවත් හමුදා පුද්ගලයන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. මෙහිදී මහේෂ්වරන් වහාම එම හමුදා පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනෙකු පේරර ගස අසළට යමින් සිටි තමන් ඇතුළු පිරිස නවත්වා දණගැස්වීම ඇස් බැද පහරදීම සිදුකිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ලෙස හදුනාගෙන තිබේ.

ඊට පෙර දිනයේ තම පුතු වූ මහේෂ්වරන් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා කන්දයියා පොන්නදුරෙයි හෙවත් මහේෂ්වරන්ගේ පියා පෙර දින මිරුසුවිල් බලා ගිය පිරිසගේ නිවෙස් වලට ගොස් තිබේ. අතරමගදී ඔහුට මහේෂ්වරන් හමුවී ඇති අතර මුහුණදීමට සිදුවූ සිද්ධිය කියා තිබේ. කෙසේ වෙතත් ඔහු ඒ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ අනෙක් පුද්ගලයන් හමුදා අත්අඩංගුවේ පසුවන බවකි. එයට හේතුව ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති ඉරණම ඒ වන විට මහේෂ්වරන් නොදැන සිටීම බව සිතිය හැක. 24 වැනිදා වැසිකිළි වල ආසන්නයට ගිය පිරිස අතරද පොන්නදුරෙයි සිට ඇත. වැසිකිළි වල ආසන්නයට පැමිණි හමුදා පුද්ගලයන් දුටු තම පුතා කෑගසමින් තමන්ට පහරදුන්නේ ඔවුන් බව කියා සිටි බව පොන්නදුරෙයි සාක්ෂි දෙමින් පවසා ඇත.


සුනිල් රත්නායක – ඇත්ත කතාව 03

2 Comments

  1. Pingback: සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 - අපරාධ රාජ්‍යය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button