දේශපාලන

“දිවිනැගුම – මිලියන 36 ක් කොල්ල කෑ බවට චෝදනා ලද බැසිල්ට” කොරෝනා සමයේ කෑම බෙදන්න භාරදෙයි

රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම සමග ජනජීවිතය අවුලට පත්ව තිබෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ස්ථාපනය කර තිබෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබමින් සිටින බැසිල් රාජපක්ෂව ජනපති නන්දසේන ගෝඨාභය පත්කර තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීයා ඔහු වේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න රජයේ මුදල් මෙලෙස සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල කර ඇත.

ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

එහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවත් ඒවායේ පිටපත් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ප්‍රකාශ ඔවුන්ට පරික්ෂා කිරීමට ඉඩ දී ඒවා ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 6 වනදා ආරම්භ කරවීමටද විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

ජනාධිපතිගේ විශේෂ නියෝජිත

කෙසේවෙතත් ඉහත කී එම බලකාය ස්ථාපනය කිරීම දැනුම් දෙමින් ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර විසින් මාර්තු 26 දා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රිකාවේ බැසිල් රාජපක්ෂගේ නිලය සඳහන් කර ඇත්තේ ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙස නම් කර ඇත. අනෙක් සාමාජිකයන් 39 දෙනාම රජයේ බලධාරීන් හා හමුදා නිලධාරීන්ය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සොහොයුරා මෙන්ම හිටපු ආර්ථික කටයුතු පිළිබදව අමාත්‍යවරයකුද වන බැසිල් රාජපක්ෂ පවසන්නේ සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට සමස්ත ක්‍රියාදාමය යටත් විය යුතු බවයි.

‘ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.’

බැසිල් රාජපක්ෂ ඒ බව සදහන් කර ඇත්තේ මාර්තු 25 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button