පුරවැසි කොළම

“අන්න අරෙහෙ ළමයෙක් මරලලු…”

“අන්න අරෙහෙ ළමයෙක් මරලලු…”

“මොකක්….? යකෝ මොන අසමජ්ජාති තිරිසන්නුද අහිංසක පොඩි උන් මරන්නේ….? ඕකුන්ව එල්ලල මරල මදි…. දෙන්න ඕන රජකාලෙ දඬුවම්…. හමගහන්න ඕන පර බල්ලන්ව…. කොහෙද ඔය අහස පොළව උහුලන්නැති අපරාධෙ වෙලා තියෙන්නෙ….?”

“මරල තියෙන්නෙ රණවිරුවෙක්. මැරිල තියෙන්නෙ උතුරෙ දෙමළ ළමයෙක්….”

“හා…. රණවිරුවෙක්ද…. දෙමළ….ද? එහෙ….ම.ද…. ඕක…. ඕ….ක සංකීර්ණ කාරණයක්…. ඕ….ඕක දිහා පැති කි…. කිහිපයකින් විශ්ලේෂණාත්මකව…. ඉඳගනින්කො ඔතනින්…. ම….ම…. මම මුළ ඉඳල කියල දෙන්නම් ඕකෙ හරි වැරැද්ද…. මෙන්න මේකනෙ කතාව….#$&=*&%”


“අන්න අරෙහෙ ළමයෙක් අපයෝජනය කරලලු…”

“හෑ…. මොකක් කිව්වා….? පොඩි එකෙක් දූෂණය කරලා….? ගනින් කොල්ලො ඔය ගේ පිටිපස්සෙන් පොල්ලක්…. කතා කරන් වරෙන් ගිහින් අල්ලපු ගෙදර සුනිල් ළමයව…. අද ඕකව අල්ලගෙන ඕකගෙ හතර හංදි කඩල ගස් බැඳලයි පොලිසියෙ මහත්තුරුන්ට බාර දෙන්නෙ…. වරෙල්ලා යන්න…. වරෙල්ලා…. යකෝ මේ අහිංසක මල්කැකුළු චප්ප කරල දාන්න මුන්…. සක්කිලි…. යකෝ…. තිරිසන්නු…. මුංගෙ අම්…. වරෙන් යන්න…. කොහෙද වෙලා තියෙන්නෙ ඕක කියහන් විගහට….”

“වෙලා තියෙන්නෙ පන්සලේ…. නායක හාමුදුරුවොනෙ කරලයි කියන්නෙ…. සුගතන් ගොයියගේ මහණ කරපු පොඩි එකාටලුනෙ….”

“හා…. ඒ…. මේ…. එහෙ….මද…. ඉඳින් ඉඳින්…. අපිත් පොඩ්ඩ බැරි වෙද්දි කලබල වෙනවනෙ…. ඉඳින් ටිකක්…. මේක කල්පනා කරල බලමු හිමීට…. මොනව වුනත්…. ඔය ලොකු හාමුදුරුවො ආවයින් පස්සෙ…. නෙ ගමේ පන්සල උනත්…. දියුණු…. නෑ නෑ සුනිලො…. පන්සලේලු…. උඹ පලයන් ගෙදර…. මේකනෙ කොලුවො…. ඔය අපේ ලොකු හාමුදුරුවො ඉන්නවනෙ…. ඉඳගනින්කො කියන්න….#%&*@%%**

ඔබ ඕනම කණ්ඩායමක්, ගෝත්‍රයක්, ආගමක්, මතවාදයක් හෝ සංකල්පයක් සමඟ හැඟීමෙන් බැඳී එය ඔබේ අනන්‍යතාවයෙන් කොටසක් කරගත් පසු ඔබ ඒ දෙය කොන්දේසි විරහිතව රකිනා සිත් පිත් නැති පල් මෝඩයෙකු බවට පත් වීම අනිවාර්යයකි. ඉන්පසු එයට ඔබගේ ඇති වහල්කමින් ඔබව ගලවන්නට කුමන තර්කයකටවත්, කුමන සාක්ෂියකටවත්, මනුශ්‍යයත්වයේ කුමන ප්‍රකාශනයකටවත් නොහැක.

එදාට ඔබ තුළ පණපිටින් සිටිනා මනුශ්‍යයා මිය ගොස් ඔබ පණපිටින් ඇවිදින මළමිනියක් බවට පත් වනු ඇත.


සංජය ශ්‍රී කාන්ත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button