දේශීය

‘මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු’ සුනිල් රත්නායක නිදහස් කෙරේ….

මිරුසුවිල් ප්‍රදේශයේ සිදුවූ සමූහ ඝාතනයට නීතියෙන් වරදකරුව, වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් සුනිල් රත්නායකට නිදහස හිමිවී තිබෙනවා.

සිදුවීම

උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට, 2000 වර්ෂයේ දෙසැම්බර් 19වන දින සිය දේපළ සෝදිසිකර බැලීමට පැමිණි, අභ්‍යන්තර අවතැන්වීමට ලක්වූ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 20 වන දිනදී සමූලඝාතනය සිදුවිය. ඔවුන් සියළුදෙනා ශ්‍රී ලංකා හමුදාවෙහි යැයි සැක කෙරෙන සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානය කොට තිබුණි.

සිය පැරණි දේපල නිරික්ෂණය කිරීම සඳහා පැමිණීමට පෙරාතුව සරණාගත පිරිස විසින් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අවසර ගෙන තිබූ බව පැවසෙයි. දිස්ත්‍රික් වෙෙද්‍ය නිළදාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාක්ෂි අනුව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකුගේ මෘතදේහ තිබී ඇත. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත භාහිර අවධානය යොමු විය. අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

නඩු විභාගය

සිදුවීමට සම්බන්ධව මුලදී ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය පැවැත්විණි.

තීන්දුව

වසර 13ක් තිස්සේ විභාගයට ගැණුනු නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මත ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button