දේශීය

දැරියක ‘දූෂණය කොට සසුන්ගත කරලා’ – බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්

සරෝජ් පතිරණ - බීබීසී සිංහල

පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී.

මාර්තු 10 වෙනි දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු මෝදරවානේ අමිලසිරි භික්ෂුව එසේ දැරියක දූෂණය කළ බවට චෝදනා නැගෙන්නේ, ඊට ඉහතදී සාමනේර හිමිනමක් සහ බෞද්ධ භික්ෂුණියක් දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකුව ඇප මත මුදා හරිනු ලැබ සිටි සිටියදීය.

දහ තුන් හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් රියදුරු සුදේශ් ද චෝදනා ලබා සිටී.

සැකකාර හිමිනමට සහ එහිමියන්ගේ රියදුරු සුදේශ් නම් පුද්ගලයාට එරෙහිව තවත් ළමා ලිංගික අපචාර ගණනාවක් පිළිබඳව ද චෝදනා එල්ල වී තිබේ.

සැකකාර භික්ෂුවගේ රියදුරා මේ වන විට සැඟව සිටින්නේ යයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.

චුදිතයන් දෙදෙනාම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති.

සිදු වූයේ කුමක්ද?

දැරියගේ පියාගෙන් වෙන්වීම සහ පවුලේ ආරාවුල් හේතුවෙන් දැරිය රැකබලාගත නොහැකි බව පවසමින් ඇගේ මව විසින් සිය දහ තුන් හැවිරිදි දියණිය ප්‍රදේශයේ භික්ෂුණී ආරාමයකට භාර දී තිබිණ. ඒ, 2018 අගෝස්තු 01 වෙනි දිනය.

ඊට පසු දින, එනම් 2018 අගෝස්තු 02 වෙනි දින මෝදරවානේ අමිලසිරි භික්ෂුව සහ එහිමියන්ගේ රියදුරා විසින් ඇය පැහැරගෙන යන ලද බව බව පොලිස් වාර්තාවල දැක්වේ.

පැහැරගැනීමෙන් පසු ඇය සිහි සුන් වූ බව පැවසෙන අතර, ඒ අවස්ථාවේ භික්ෂුව තමන් දූෂණය කරන්නට ඇති බවට දැරිය සැක කරයි.

දැරිය පවසන පරිදි, ඇය යළි පියවි සිහිය ලබා තිබෙන්නේ චුදිත භික්ෂුවගේ නිදි යහනේය.

බාල වියේ දැරිය ලිංගික එක්වීමක් වී තිබෙන බව වෝහාරික අධිකරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

ඉන් අනතුරුව පදවියේ පිහිටි සැකකාර භික්ෂුවගේ විහාරස්ථානයේ සිට එහිමියන්ගේම පාලනය යටතේ පවතින පොල්ගහවෙල පිහිටි ආයතනයකට ඇය රැගෙන ගිය එහිමියන්ගේ රියදුරා, කලක් මුළුල්ලේ දැරිය සමඟ යහන්ගත වී තිබෙන බවට පැමිණිල්ල චෝදනා කරයි. වැඩිවිය පත් වූ විට තමන් විවාහ කරගන්නා බවට රියදුරා ප්‍රතිඥා දුන් බව ඇය මහරගම උත්පලවන්නා භික්ෂුණිය සමඟ පවසා තිබේ.

මාස කිහිපයකට පසුව, 2018 දෙසැම්බර් මාසයේ දී තමන් ඇමතූ මෝදරවානේ අමිලසිරි භික්ෂුව, ඇය සසුන්ගත කිරීමට අවශ්‍ය බව දැනුම් දුන්නේ යයි උත්පලවන්නා භික්ෂුණිය බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ.

“උඳුවප් පෝය දවසේ ඉතින් සංඝමිත්තා දිනය සිහි කරලා අපෙත් පුංචි බලාපොරොත්තුවක් තිබුණ කවුරු හරි මහණ කරන්න.”

මහරගම උත්පලවන්නා භික්ෂුණියගේ ගුරු භික්ෂුණිය විසින් දැරිය සසුන්ගත කරනු ලැබ තිබෙන්නේ ඉන් අනතුරුවය. ඇය ඊට පෙරාතුව ද, ඉතාම බාල වියේ දී සසුන්ගත වී සිට උපැවිදි වූ දැරියක බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තමන් මුහුණ දුන් ඉරණම ගැන කලක් නිශ්ශබ්දව සිටි සාමනේර භික්ෂුණිය ඒ සියල්ල හෙලි කර තිබෙන්නේ 2019 දෙසැම්බර් මාසයේ දීය. ඒ, අනුරාධපුරයේ දී සුදේශ් හමු වූ අවස්ථාවේ ඇය විවාහ කරගත නොහැකි බව ඔහු ඇයට දැනුම්දීමෙන් අනතුරුව බව ද උත්පලවන්නා භික්ෂුණිය පවසති.

හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණිය

චුදිත මෝදරවානේ අමිලසිරි භික්ෂුව, භික්ෂූන් වහන්සේගේ සුබසාධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කර තිබෙන, බෞද්ධ ආයතන කිහිපයකම අධිපති පදවිය හොබවන හිමි නමකි.

තමන් මුලින්ම පැමිණිල්ලක් කිරීමට උත්සහ කළ අවස්ථාවේ චුදිත හිමියන්ට තවත් එවැනි චෝදනා කිහිපයක්ම තිබෙන බව සඳහන් කළ පොල්ගහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කෙසේ වුවත් සිදුවීමට කලක් ගත වී ඇති බැවින් සහ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් “ශාසනයට කැළලක් ඇතිවිය හැකි බව” පවසමින් පැමිණිල්ල භාර නොගත් බව මහරගම උත්පලවන්නා භික්ෂුණිය බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ.

පසුව සිදුවීම සැලවූ පොල්ගහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂිකා ඒ එම් ආර් එම් ගමගේ තමන් අමතා පැමිණිල්ල භාරගෙන පරීක්ෂණ ආරම්භ කළ බව ද භික්ෂුණිය සඳහන් කළාය.

වෝහාරික පරීක්ෂණය සඳහා තමන් සාමනේර භික්ෂුණිය සමඟ රෝහලේ සිටියදී චුදිත භික්ෂුවට සමීප තරුණ පිරිස් එහි ගැවසුන බව ද මහරගම උත්පලවන්නා භික්ෂුණිය පවසති.

“ඉතින් අපි හරි බයෙන් ඉස්පිරිතාලේ හිටියෙත්. මම ඒ බව කිවුවාම රෝහල් පොලිසියෙන් අපිට ආරක්ෂාව දීල පිට අය එන එක තහනම් කළා.”

පොලිස් පරීක්ෂිකා ඒ එම් ආර් එම් ගමගේ ගේ මෙහෙයවීම යටතේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

චුදිත මෝදරවානේ අමිලසිරි භික්ෂුවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බරපතල අප්‍රසාදය පළකරන බව පොල්ගහවෙල, ඉහළ හඳුගල සම්බෝධි මන්දිර භික්ෂුණී විහාරස්ථානයේ විහාරාධිපතිනි හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

දැරිය කොතැනද?

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී බිම්ශානි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේ සිය කාර්යාංශය වහාම ක්‍රියාත්මක වී දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත් බවය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී බිම්ශානි ගේ උපදෙස් පරිදි සාමනේර භික්ෂුණිය පරිවාස භාරයට පත්කොට ළමා නිවාසයකට භාර දී තිබේ.

එම සාමනේර භික්ෂුණිය ළමා නිවාසයේදී උපැවිදි වී සිටී.

දැරිය දූෂණය කිරීම සහ වෙනත් අපචාර ගණනාවක් සම්බන්ධයෙන් චුදිත භික්ෂුවට එරෙහිව පදවිය සහ කුරුණෑගල ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් ද වැඩිදුර පරීක්ෂණ පවත්වති.

භික්ෂූන්ට එරෙහි චෝදනා

සාමනේර හිමිවරුන්ට සහ දරුවන්ට ලිංගික අතවර කිරීම ගැන ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේට වරින්වර චෝදනා එල්ල වේ.

මීට වසර කිහිපයකට ඉහතදී (2012 දී) බීබීසී සිංහල සේවය විසින් අනාවරණය කරන ලද පරිදි ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේදී 110 කට ආසන්න භික්ෂූන් වහන්සේට එරෙහිව බලධාරීන් විසින් නඩු පවරනු ලැබ තිබුණි.

එහෙත් ඒ අතරින් දඬුවම් ලබා තිබෙන්නේ භික්ෂූන් තිදෙනෙකු පමණි.

දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු එක් භික්ෂුවක 2005 දී වස පානය කොට දිවි නසා ගත්තේය.

මේ වනවිට කොපමණ භික්ෂූන් පිරිසකට එරෙහිව ළමා අපචාර චෝදනා එල්ල වී තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ, කරුණු සොයා බලා ඒ පිළිබඳ දැනුම්දෙන බවය.

වැඩිහිටි භික්ෂුවක විසින් ඉතා බාල වියේ සාමනේර හිමිවරුන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට පත්කිරීමේ අනුවේදනීය සිදුවීමක් මීට මාස කිහිපයකට ඉහතදී එවක රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අනාවරණය කළ අවස්ථාවේ, එය අනාවරණය කිරීම බුදු දහමට නිගා කිරීමක් බව පවසමින් ඇතැම් භික්ෂුන් ඇතුළු පිරිසක් රාජ්‍ය ඇමතිවරයා දැඩි විවේචනයට ලක් කළේය.

එහෙත් හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණිය පවසන්නේ තමන් එම ප්‍රතිචාරය අනුමත නොකරන බවය.

භික්ෂූන් වහන්සේට එරෙහිව එල්ලවන මෙවැනි බරපතල ලිංගික අපචාර චෝදනා බොහෝ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවල අවධානයට ලක් නොවන අතර, ඒ පිළිබඳ අදහස් දැක්වීමට ලාංකීය සමාජය ද උනන්දුවක් නොදක්වන බවත් භික්ෂුණිය පෙන්වා දෙන්නීය.

“කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැ, මහනායක හිමිවරුවත් කතා කරන්නේ නෑනේ. හැබැයි භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත දෙන්න එපා කියල කතා කරනවා,” හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණිය පැවසූහ.

“ගොඩක් හොඳ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒත් මේ වැරදි කරන අයත් ගොඩක් ඉන්නවා. සමාජයටවත්, සංඝ රත්නයටවත්, රජයටවත්,මැති ඇමැතිවරුන්ටවත් මේවා පේන්නේ නෑ.”

ශ්‍රී ලංකාවේ බුදු දහම සහ සඟ සසුන ආරක්ෂා කිරීම යනු රටේ දරුවන් අපයෝජනය කරන මෙවැනි භික්ෂූන්ට එරෙහිව නිසි පියවර ගැනීම බව ද හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණිය අවධාරණය කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button