දේශපාලන

යෝෂිත රාජපක්ෂ බදුල්ලෙන් මහමැතිවරණයට එන ලකුණු…. නාවික හමුදාවෙනුත් ඉවත් වීමට සූදානම්….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.

සෙසු දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ දී යම් පසුබෑමකට මුහුණ පා සිටින අතර ඊට මූලික හේතුව වී ඇත්තේ මුල පටන්ම එම පක්ෂය වෙනුවෙන් බදුල්ලේ සංවිධාන කටයුතු කළ කුමාර වෙල්ගම ජනාධිපතිවරණය ආසන්නයේ දී පක්ෂයෙන් ඉවත්ව යාමයි.

ඔහුගේ පුරප්පාඩුවට පත් කළ තේනුක විදාන ගමගේ ද ඉන් සාර්ථකත්වයක් ලැබුවේ නැත.

මේ අතර මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයට තරගවැදීමට නියමිත ප්‍රධාන චරිත 02 වන්නේ අවසන් මොහොතේ පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් ඩිලාන් පෙරේරා සහ පොහොට්ටු සාමාජිකයකු නොවන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා යි.

මොවුන් දෙදෙනාම පොදුවේ ජනතාව අතර දැඩි ලෙස අපකීර්තියට පත්ව සිටින අතර දිස්ත්‍රික්කයක් තබා තමන්ගේ ආසනවත් රැකගත නොහැකි මට්ටමක පසුවෙයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දක්ෂ, තරුණ නායකත්වයක් මෙන්ම මහින්ද රාජපක්ෂගේ සෘජු නියෝජනයක් වශයෙන් යෝෂිත රාජපක්ෂව ඉදිරිපත් කළ යුතු බවට බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය වත්මන් තත්වය අනුව උපායමාර්ගික වශයෙන් ඉතාම වැදගත් සහ නිවැරදි යෝජනාවක් වන නමුත් මේ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් පූර්ණ කාලීනව දේශපාලනයට එක්වීමට ටික කලක සිටම සූදානම් වෙමින් සිටින ඔහු මේ වනවිට නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා අයදුම් කර ඇති බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button