දේශීය

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අනාගතයේදී ඇමෙරිකාවේ නඩු පැවරීමට අවස්ථාවක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගට අවස්ථාව හිමිව තිබේ.

අහිම්සා වික්‍රමතුංග මීට පෙර කැලිෆෝනියා දිසා අධිකරණයක ගොනු කළ නඩුව එම අධිකරණය විසින් ඉවත දැමූ අතර එයට එරෙහිව ඇය ඇමෙරිකාවේ නව වැනි චක්‍රීය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අනුව මෙසේ අනාගතයේදී නඩුවක් ගොනු කිරිමට අවස්ථාව ලැබී තිබේ.

අහිම්සා වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටින යුක්තිය හා වගවීම පිළිබඳ මධ්‍යස්ථානය මෙම නඩුව ගොනු කරමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූ බවත් එයට ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවත් ය.

මෙම නඩුව මුලින්ම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ කැලිෆෝනියා දිසා අධිකරණයේ ගොනු කළ අතර, එහි තීන්දුව පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කරමින් දිසා අධිකරණය සඳහන් කළේ එවකට ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙක් වශයෙන් විදේශීය නිලධාරී මුක්තියට ඔහු යටත්වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ධූරයට පත්වීම හේතුවෙන් ඔහු ජනාධිපති ධූරයේ රැඳී සිටින තාක් කල් එක්සත් ජනපද උසාවිවල නඩු වලින් නිදහස් වීමට රාජ්‍ය නායක මුක්තිය තිබේ.

එම නිසා අහිම්සා කළ ඉල්ලීම නවවැනි චක්‍රීය අභියාචනාධිකරණයපිළිගත් හෙයින් ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නායකයෙකු ලෙස ලැබෙන මුක්තිය අහෝසිවීමෙන් පසු ඔහුට එරෙහිව අනාගතයේදී නඩු පැවැරීමට අවස්ථාව උදා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button