දේශපාලන

නාමල්ගේ නඩුවත් වෙන පාරක යයි

 


රුපියල් ලක්ෂ 300ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව දුර්වල කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වේ. මෙම නඩුව පසුගිය දා කැඳවූ අවස්ථාවේ එහි පැමිණිලිකරු මෙන්ම ප‍්‍රධාන සාක්ෂිකරු විසින් පවසා ඇත්තේ, තමන් පැවසූ කරුණු තහවුරු කිරීමට අදාළ සාක්ෂි තමන් සතුව නැති බවයි. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ඇතුළු සැකකරුවන් පිරිසට රුපියල් ලක්ෂ 300ක් චෙක්පත් මඟින් ලබා දුන් බව මීට පෙර සාක්ෂිකරු විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පවසා තිබිණි.

ඒ සම්බන්ධයෙන් විමසීමේ දී ඔහු අධිකරණයට පවසා ඇත්තේ, විමර්ශකයන්ට එසේ පැවසුව ද, තමන්ට දැන් එය තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි නැති බවයි. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ, මේ මඟින් පැමිණිල්ලේ සාක්ෂි දුර්වල කිරීම හරහා පහසුවෙන් ම නඩුව ජයග‍්‍රහණය කිරීමේ හැකියාව ඇති බවයි. පසුගිය කාලයේ දී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මඟින් පවරන ලද නඩු කිහිපයක් මීට උදාහරණ ලෙස පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු, මේවා සැලසුම්සහගතව සිදු කරන ඒවා බවත්, එය අධිකරණයට සිදු කරන අපහාසයක් බවත් අවධාරණය කර සිටිති.

‘හෙල්කෝප්’ සමාගමෙන් ‘ගවර්ස්’ සමාගම හරහා ලබා ගත් රුපියල් ලක්ෂ 300ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීව යන සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි. 2013 සහ 2014 අතර කාලයේ දී මෙම ගනුදෙනුව කර ඇත්තේ නාමල් රාජපක්ෂට අයත් අදාළ සමාගම මඟින් බව විමර්ශනවලින් තහවුරු වී තිබිණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මීට පෙර අවස්ථාවක සදහන් කළේ, මෙය සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් බවත්, පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් මෙය ගොතා ඇති බවත් ය. ආණ්ඩුවේ අවශ්‍යතාව මත සිදු කරන මේ විමර්ශනයට අදාළ සත්‍ය කරුණු අධිකරණයේ දී තහවුරු වනු ඇති බව ද මන්ත‍්‍රීවරයා එහි දී කියා සිටියේ ය.

මේ අතර කොළඹ, කොටුව ට‍්‍රාන්ස්වර්ත් චතුරස‍්‍රයේ රජයට අයත් අක්කර 4.3 ක් බදු දීමේ දී සිදු වී ඇති මූල්‍ය වංචාවට අදාළ මුදල් බැර වී ඇත්තේ, ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ගිණුම්වලට ය. නිමල් පෙරේරා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පවසා ඇත්තේ, එයින් රුපියල් මිලියන 17ක මුදලක් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට අයත් ගවර්ස් සමාගමේ ආයෝජනය කළ බවයි.


ශාලික විමලසේන
ලංකා වෙබ් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button