දේශීය

හක්ගල රක්ෂිතයත් රජයෙන් එළි කරලා, ගොඩනැගිලිත් හදලා

ජෛව විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පමණක් ඇතුළුවීමට ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයේ කන්දේ ඇළ ජලාශයට ආසන්න භූමියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර ගොඩනැගිලි හතරක්ද ඉදිකර තිබෙනවා.

එම ගොඩනැගිලි ආශ්‍රිත භූමිය තුළ මහා පරිමාණයෙන් පළිබෝධනාශක යොදා ගනිමින් වගා කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හග්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය මෙලෙස එළි පෙහෙලි කර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ අදාළ භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ගැනීමකින් තොරව බවටද අනාවරණය වී ඇති අතර, අනවසර වගා කටයුතු කිරීමේදී දැඩි ස්වභාවික රක්ෂිත කලාපයේ සතුන්ගේ වාසස්ථාන රැසක්ද විනාශයට ලක්ව තිබෙන බව පරිසරවේදීහු පවසයි.

එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් ආරම්භ වන්නේද හග්ගල දැඩි ස්වභාව රක්ෂිත කලාපයෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහි අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ වගා කටයුතු සිදු කිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස 1938 පෙබරවාරි මස 25 වැනිදා ගැසට් කරන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button