සමාජ

කෝච්චි ටිකට් එකේ මිල වැඩිවීම ගැන නියෝජ්‍ය ඇමති පිළිතුරු දෙයි

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය – අශෝක් අබේසිංහ

දුම්රිය ගාස්තු සංශෝධනය කොහොමද වුණේ? සාධාරණයිද වැඩි කරපු ක්‍රමය?

අපි දුම්රිය ගාස්තු සංශෝධනය කළේ 15% කින්. නමුත් ඒක ජනතාවට සන්නිවේදනය වෙනකොට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒකයි මේ එක එක චෝදනා එල්ලවෙන්නේ. 2008න් පස්සේ දුම්රිය ගාස්තු සංශෝධනය වෙලා නෑ. පසුගිය රජයෙන් තමයි දුම්රිය ගාස්තු සංශෝධනය කළ යුතුයි කියලා තීරණය කළේ. ඒ අය දුම්රිය ගාස්තු සංශෝධනය කළ යුතු ක්‍රමවේදයක් හදලයි තිබුණේ. කිලෝ මීටරයෙන් කිලෝමීටරයට.

මොකක්ද ඒ ක්‍රමවේදය?

ඒ අය සෑම කිලෝමීටරයකටම කොටස් හදලා තිබුණා. කිලෝ මීටර 2 සිට 10 දක්වා රුපියල් 10යි. 10 සිට 50 දක්වා රුපියලයි. 50 සිට 10ට දක්වා කිලෝමීටරයට ශත 85 බැගින් තමයි ගණන් හැදෙන්නේ. මේ පාර 15% කින් ගාස්තු වැඩි වුණාම කිලෝමීටර 10 දක්වා රුපියල් 1.10ට 15% වැඩිවුණාම රුපියල් 1.30 වෙනවා. රු. 1.30ක් වෙන්නේ 15% වැඩි වුණාම එන රුපියල් 1.27 1/2 රවුම් ගාණක් කළ යුතු නිසයි.
කිලෝමීටර් 10 දක්වා රුපියලට 15%ක් එකතු වෙලා රුපියල් 1.15වෙලා තියෙනවා. කිලෝමීටර 50 සිට 100 දක්වා ශත 85 තිබුණු එක රුපියල වෙලා තියෙනවා. එතකොට කිලෝමීටර 100 ක් ගමන් කරන කෙනාගේ ටිකට් එකේ ගාණ හැදෙන්නේ පළවෙනි කිලෝ මීටර් 10ට රුපියල් 1.30 ගානේ රුපියල් 13යි. කිලෝ මීටර් 10සිට 50 දක්වා කිලෝමීටර් 40ට රුපියල් 1.15 ගානේ 46යි. කිලෝමීටර් 50 සිට 100 දක්වා රුපියල ගානේ රුපියල් 50යි. ඒ ටික එකතු වෙලා තමයි කිලෝමීටර් 100 ටිකට් එකට ගාණ හැදෙන්නේ. ඒ කියන්නේ 15% වැඩි කරලා තියෙන්නේ එක කිලෝමීටරයකටයි. මේ කිලෝ මීටරයට ගාණ හදන්න කියන යෝජනාව ආවේ ගිය රජයෙන්මයි.

එතකොට උතුරු – නැගෙනහිර ගාස්තුවල මේ හා සමාන වැඩි වීමක් වෙලා නැහැනේ?

ඒකෙ ප්‍රශ්නෙ මතු වුණේ මෙහෙමයි. යුද්දෙන් පස්සේ ඕමන්තට එහා දුම්රිය මාර්ගය විවෘත කරනකොට හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා බස්රථ හිමියන්ගේ ඉල්ලීම පරිදි බස් ගාස්තු වලට වඩා දුම්රිය ගාස්තු අඩු වුණොත් ඒ අයට පාඩුවක් වෙයි කියලා දුම්රිය සහ බස් ගාස්තු එක සමානව පවත්වාගෙන යන්න කියලා. මේ නිසා 2008 සංශෝධනයේදී කිලෝමීටරයකට අය කරන ගාස්තුව වෙනුවට ඕමන්ත සිට කන්කසන්තුරේට වෙනම ගාස්තුවක් අය කළේ. ඒ බස් රථ වලට සමාන ගාණක්. නමුත් මේ පාර ක්‍රමයට වැඩි කළාම ඒ තිබුණු ගාණටමයි ගාණ හැදෙන්නේ. එතකොට අනෙක් ටිකට්වලට සාපේක්ෂව සුළු වෙනසක් ටිකට්වල තියෙනවා.

වාර ප්‍රවේශපත්‍රවල මිල වැඩි වෙන්නෙත් මේ ක්‍රමවේදයටමද ඇමැතිතුමා?

වාර ප්‍රවේශපත්‍ර වල අපි අය කරන්නේ උදාහරණයක් විදියට රුපියල් 100ක් යන්නයි එන්නයි යන කෙනෙක්ට රුපියල් 3000ක් යනවා දවස් 30කට. නමුත් අපි ඒ අයගෙන් අයකරන්නේ දවස් 12කට විතරයි. එතකොට රුපියල් 1200යි අය වෙන්නේ. රජයේ වාර ප්‍රවේශපත්‍රවල දවස් 4 1/2 කටයි ගණන් හැදෙන්නේ. ඒ කියන්නේ රුපියල් 450යි. පාසල් දරුවෙක්ට නම් මාසෙකට දවස් 3කටයි අය වෙන්නේ. ඒ ගාණ කිලෝ මීටරයකට 15%වැඩිවීම සීමාවටම එකතු කරලා අයකරගන්න තමයි කටයුතු යොදලා තියෙන්නේ.

මේ 15% සීමාව ගැන සන්නිවේදනය වුණේ වැරදියට කියලා ඔබතුමා කිව්වා. ඇයි ඒ ගැන හරියට ජනතාව දැනුම්වත් කරන්න බැරි වුණේ?

15% ක් වැඩි කරනවා කිව්වම මාධ්‍ය ඒක ප්‍රචාරය කළා. නමුත් අපේ දුම්රිය දෙපාර්තමේන්තුවත් වෙන කවුරුවක්වත් කියලා තිබුණේ නෑ හරියටම වැඩි වෙන ක්‍රමවේදය. 15% කින් වැඩි කරනවා කියලා කැබිනට් මණ්ඩලය තීන්දු කළාම මහා භාණ්ඩාගාරය කියලා තිබුණා රජයේ මුදල් අනුබද්ධ ආයතනයක් අවුරුදු 8කින් ගාස්තු වැඩි කරලා නැතිනම් අනිවාර්යෙන් වැඩිකළ යුතුයි කියලා. ඒ අනුව තමයි කිලෝමීටරයට 15%කින් වැඩි කළේ. ඒක කිලෝ මීටරයකට වෙන දෙයක් කියලා තමයි කියලා නැත්තේ.

එතකොට චෝදනවාක් තියෙනවා ඇමැතිතුමා දුම්රිය ගාස්තු වැඩි වුණේ උද්ඝෝෂණය කළ අයට වැටුප් වැඩි කරන්නයි කියලා. ඇත්තද ඒ කතාව?

මේ රටේ මොනවටද චෝදනා නැත්තේ. හිනා වුණත් වැරදියි. නොවුණත් වැරදියි. දුම්රිය ගාස්තු වැඩි කරලා දුම්රිය සේවකයන්ට පඩි ගෙවන්නේ නෑ. දුම්රිය සේවක වැටුප් ගෙවන්නේ රජයෙන්. දුම්රිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. ගිය අවුරුද්දෙත් දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 870 ක් පාඩුයි. එහෙම වුණා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයෝජන අඩු කළේ නෑනේ. මේ අවුරුද්දෙත් දුම්රිය එන්ජින් 12ක් කඳුරට මාර්ගයටත්, 12ක් පහතරට මාර්ගයටත්, 15ක් බලවේග කට්ටලක්, දුම්රිය මැදිරි 108කුත්, ඇණවුම් කරලා තියෙනවා. කැළණිවැලි දුම්රිය මාර්ගය, නවීකරණය කරනවා. ද්විත්ව, ත්‍රිත්ව මාර්ග හදනවා. පානදුර සිට රඹුක්කනට විදුලි දුම්රිය ඇති කරන්න යනවා. මේවට ආධාර ඇවිල්ලත් තියෙනවා. තව එන්නත් තියෙනවා. මේ විදියට දුම්රියට විශාල ආයෝජන එකතු කරන අපිට ගණන් වැඩි කරලා පඩි ගෙවන්න ඕනකමක් නෑ.

ඒ අයගේ වැටුප් වැඩි වීම වෙන්නේ නැද්ද එතකොට ඇමැතිතුමා?

කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ ගැන කතා කරන්න. කැබිනට් එකේ තීරණය අනුව තමයි ඒ වැටුප් වැඩිවීම ගැන තීන්දුව ලැබෙන්නේ.

විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලන්න ගිය නිසා ඒකත් නැවතුණා නේද? මේව බලපාන්නේ දුම්රිය සේවයට නෙවෙයිද?

ඒක මම කියපු ව්‍යාපෘතිය නෙවෙයි. ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. ඹ්.අ.ඛ් එකට අදාළ දෙයක්. අපේ දෙපාර්තමේන්තුව එක්ක ඒ ව්‍යාපෘතියේ කිසිම සම්බන්ධ්‍යක් නෑ.

එහෙම රජයක් විදියට එහෙම දෙයක් අදාළ නෑ කියලා මග අරින්න පුළුවන්ද?

ඒකට මමවත්, දුම්රිය දෙපාර්තමේන්තුවවත් සම්බන්ධ නෑ. ඒ සිද්ධියට නම් කියවෙන අදාළ අය සහ අදාළ අමාත්‍යංශ තමයි උත්තර දෙන්න ඕන.

බඩුමිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු එක පිට ළඟ ළඟම වැඩි කරලා දැම්මේ ජනතාව සහ පහකට ගණන් නොගෙනද?

අපි ජනතාව වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද පසුගිය රජයට සාපේක්ෂව. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, සැමන් ඒ අය දුන්නට වඩා අඩුවෙන් අපි දෙනවා. වැඩිහිටියන්ට දීපු 1000 දීමනාව 2000 ක් කළා. රජයේ 5000ක් කළා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් දුන්නා. සමෘද්ධි දීමනාව දෙගුණ කළා. වකුගඩු රෝගීන්ට දීපු 3000, 5000ක් කළා. දරුවන්ව ලක්ෂ 2කට රක්ෂණය කළා. තව මේ විදියට කොච්චර දේවල් කළාද ? ඒවා කළේ ජනතාව ගැන හිතන නිසානේ. බෙහෙත් මිල අඩු කළෙත් ඒකනේ.

ඔය හැම කාරණාවක්ම හරි වුණත් ජනතාව ඇයි ඔබතුමාලගේ ආණ්ඩුව පන්නන්න දත කන්නේ?

ඒක මේ රටේ හැටි. ජනතාවට හරි ඉක්මනට කරපු දේවල් අමතක වෙනවා. යුුද්ධේ දිනෙව්වහම මහරජා කියපු මහින්දවත් 2015 ගෙදර යැව්වනේ.
අපි මිනිස්සුන්ට රත්තරනින් පාරවල් හදලා දුන්නත් බණීවි. වැඩිපුර රත්තරන් දාලා කියලා. මේක සාමාන්‍ය තත්ත්වයක් ඉතිං. අපිට දීපු බලයට අපි වැඩ කරනවා. ඊළඟට ඡන්දෙන් අපිව යැව්වොත් පරණ විදියටම රට වැටෙයි. ඒක ජනතාවගේ වැඩක්.

දුම්රිය ගාස්තු වැඩි කරන්නේ අවුරුදු 10කින් වැඩි නොකරපු නිසාම විතරද? ඉන්ධන වැඩිවීම ඒකට බලපෑවේ නැද්ද?

ඒ සියලු දේවල්වල අවසාන ප්‍රතිඵලය විදියට තමයි මේ සංශෝධනය වුණේ. අපේ රටේ ආදායම කෝටි ලක්ෂ 2යි. වියදම කෝටි ලක්ෂ 4යි. ආදායම වගේ වියදම දෙගුණයක් තියෙන රටක මේ දේවල් නොකර බෑ. මහින්ද කලින් ඡන්දෙකට ගියේ ඒකයි. විමල් 2013.02.14 ඒ දේ කියලා තියෙනවා අවුරුදු 2කට වඩා රට ඉදිරියට යන්න බෑ කියලා. ඒක තේරුම් ගෙන අමාරුවේ දාලා එළියට බැහැපු අයගෙන් අපි රට බේරගෙන මේ තරමකට ගොඩ ගනිමින් ඉන්නකොට යළිත් ජනතාව ඒ අයටම දෙන්න හදනවා නම් අපිට කරන්න දෙයක් නෑ.

ඇමැතිතුමා අර කැලේ මැද නතර වුණ දුම්රිය යථා තත්ත්වයට පත්කළ තරුණයා වෙනුවෙන් රජය යමක් කරන්නේ නැද්ද?

ඒ දරුවව අපේ ඇමැතිතුමා ගෙන්වලා අනාගතයට වියයුතු දේ අහලා අගයලා තියෙනවා. එවන් අයව අපි ඇගයිය යුතුයි. ඒ දරුවා දුම්රිය හදන්න සහයෝගයකුයි දීලා තියෙන්නේ එයා දන්න දෙයින්. ඒකට ඇගයීමක් කළා වගේම ඉදිරියේදීත් අපි ඒ ගැන ආඩම්බර වෙනවා.


චාමිකා මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button