දේශීය

තහනම් කළ කටුපොල් හොර රහසේ සිටුවීමට එරෙහිව වැවිලි ඇමතිට විරෝධය

2018 සැප්තැම්බර් 11 වන දින ජාතික ආර්ථික සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ආයතන එක්ව සිදුකළ කටුපොල් වගාවේ පරිසර සහ සමාජීය හානි අධ්‍යනයේද ප්‍රතිඵල සහ මහජන පීඩා, විරෝධතා පදනම් කරගෙන කටුපොල් නැවත වගාකිරීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කරන ලදී. අදාළ තීරණය 2018 ඔක්තෝම්බර් 23 දින ආමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව ලංකාවේ නැවත කටුපොල් ව්‍යාප්ත කිරීම නවතා දමන ලදී.

එසේ තිබියදීත් අදාළ තීරණය නොසලකා සහ එහි මුද්‍රණ දෝෂයක් මුල්කරගෙන හොර රහසේ කටුපොල් වැවීම සඳහා වැවිලි සමාගම් කටයුතු කිරීම මත නැවත වතාවක් 2019/11/11 දින කැබිනට් තීරණයක් මගින් කටුපොල් සිටුවීම සම්පුර්ණයෙන් තහනම් කරන ලදී. තත්වය එසේ වුවත් අදත් බොහෝ වැවිලි සමාගම් හොර රහසේ සහ බලහත්කාරයෙන් ප්‍රසිද්ධියේ කටුපොල් වැවීම දිගින් දිගටම සිදු කිරීම නිසාවෙන් මහජනතාව පීඩාවට පත් වීම මෙන්ම සමස්ත පරිසර පද්ධතියට සිදු වන විශාල හානියක් වලක්වා ගැනීම සඳහා කටුපොල් සදහා කලක පටන් හඬ නගන ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් පහක පරිසර නියෝජනයන් සහ පරිසර සංවිධාන එකතුවක සාමාජිකයන් කිහිප දෙනෙකු 2020.02.19 වන මහජන දින වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වෙත රැස් වී මේ සම්බන්ධව රමේෂ් පතිරණ අමාත්‍ය තුමන් සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදී අමාත්‍ය තුමන් හට වහාම කටුපොල් තහනම ගැසට් කර ප්‍රසිද්ධියට පත්කිරීම, 2018 කැබිනට් තීන්දුවට සහ 2019 කැබිනට් තීන්දුව යන තීන්දු දෙකම නොසලකා කිසිඳු වග විභාගයකින් තොරව සහ රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව යමින් සිටුවා ඇති සියලු කටුපොල් වගාවන් ඉවත්කිරීමට ක්‍රමවේදයක් සහ කාල රාමුවක් සැකසීම, එලෙස රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව කටුපොල් සිටවූ සමාගම් අසාධු ලේඛන ගතකිරීම, දඩයකට යටත් කිරීම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නියාමන කොන්දේසි යටතේ නීත්‍යානුකූලව ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගැනීම, ඉදිරියට කටුපොල් වගාකිරීම සම්පුර්ණයෙන්ම නවත්වාදමන ලෙස ලිඛිත නියෝග සියලු වැවිලි සමාගම් වෙත වෙන වෙනම යැවීම, එම තහනම සම්බන්ධව සහ එයට එරෙහිව කටයුතු කරන සමාගම් වලට එරෙහිව නඩු පැවරීමටත්, වගාකරුවන් අත්අඩංගුවට ගැනීමටත් අදාළ ලිඛිත නියෝග සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත වෙන වෙනම යොමුකිරීම. යන කරුණු වලින් යුක්ත ඉල්ලීම් කීපයක් අමාත්‍ය තුමන්ට ලිඛිතව ඉදිරිපත් කරන ලදී.

එම ඉල්ලීම් පිළිබඳව විමසා බැලූ අමාත්‍ය තුමන් පවසා සිටියේ අතීතයේදී අමාත්‍යංශය විසින් සිදු කර ඇති වැරැද්දක් නිසාවෙන් මෙම ගැටළුව මතුව ඇති බවත් ඉදිරියේදී තමන් විසින් එම වරද නිවරදි කිරිමට කටයුතු කරනා බවත් සහ එවකට විපක්ෂයේ සිටියදී තමා කටුපොල් සඳහා විරුද්ධව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේදී පවා කරුණු දක්වා ඇති බවත්ය. කටුපොල් තහනම ගැසට් කර ප්‍රසිද්ධියට පත්කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් පමණක් සිදු කල හැකි ක්‍රියාවක් නොවන බවත් එම ක්‍රියාව පරිසර අමාත්‍යංශය හා එක්ව ඒකා බද්ධව සිදු කල යුතු ක්‍රියාවක් බව පවසා සිටි අතර ඒ සඳහා ක්‍රියා කිරීමට අමාත්‍යංශ දෙක සහ පරිසර ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවක් කඩිනමන් පැවැත්වීමට කටයුතු සිදු කරන බව පැවසීය.

2019.11.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය නොදන්නා බව පවසමින් වැවිලි සමාගම් කටුපොල් වැවීම සිදු කරන බව සහ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කලද ඔවුන්ද කැබිනට් තීරණය පිළිබඳව නොදන්නා නිසාවෙන් නෛතික කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බවට පවසන නිසාවෙන් එයද විශාල ගැටලුවක් බව සාකච්ඡාවට සහභාගීවූවන් පැවසීම නිසාවෙන් එම අමාත්‍ය මණ්ඩල තීරණය හරහා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා මෙන් දන්වමින් දිස්ත්‍රික්ක 5හි සියළුම පොලිස් ස්ථාන වෙත සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත 2020.02.19 වන දිනම ලිපි යොමු කරන ලදී. එමෙන්ම තහනම නොතකා කටුපොල් වගාවන් සිදුකරන වැවිලි සමාගම් සඳහාද 2020.02.20 වන දිනයේදී ලිපි යොමු කර හොර රහසේ සිදු කරන කටුපොල් වගාවට වැටබැඳීමට කටයුතු කරන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button