දේශීය

‘අප්‍රේල් 21 ප්‍රහාරයේ සහරාන්’ ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (09) අනාවරණ වුණා.

කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන්නේ, හිටපු අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුව සිට මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියෙන් පසු ත්‍රස්තවාදින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහමඩ් රාසික් මොහමඩ් තස්ලින් නැමැති පුද්ගලයායි.

කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගේ හිසේ දකුණු පසට එල්ල වී තිබු වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ වම් අත සහ කකුළ අක්‍රියවී ඇති හෙයින් අද දින සාක්ෂි වීමසීම සඳහා ගෙනවිත් තිබුණේ රෝද පුටුවක අධාරයෙන්.

එහිදි සාක්ෂිකරු 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියෙන් පසු එම ප්‍රහාරයයේ ප්‍රධාන සැකකරුවන් වන සාදික් සහ ෂාහිඩ් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ සදහා තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහය දුන් බව ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක මාරසිංහ විසින් 2019 ජනවාරි මස 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු සොයා යාමට තමන් සම්බන්ධ කරගත් බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

පසුව පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම සමඟ තමන් මුෆීස් නැමැත්තෙකු සොයා පුත්තලම ප්‍රදේශයේ සංචාරය කළ බවත් එහිදි ලද තොරතුරකට අනුව වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වුණ බවද සාක්ෂිකරු පැවසුවා.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානයට ඇතුළු වන අවස්ථාවේදි පුද්ගලයින් දෙදෙනෙකු එහි කිසියම් දෙයක් වලලමින් සිටි බවක් තමන්ට දකින්නට ලැබුණු අතර විමර්ශන වලදි හෙළිව තිබු කරුණු අනුව ඉන් එක් අයෙකු මුෆීස් නැමැත්තා ලෙස හදුනාගත් බවයි.

එහිදි සිදුකළ විමර්ශන වලදි සාහිද් සහ ෂාහිඩ් යන අය මීට පෙර අවස්ථා කිහිපයකදි මෙම ස්ථානයට පැමිණ ඇති බව තහවුරු වු බවද සාක්ෂිකරු කියා සිටියා.

එහි අල්මාරියක් සොදිසි කළ අවස්ථාවේදි එහි තිබි කුරාණයක්, බල්බ් සෙට් 06ක්, ඩෙටනේටර් 99ක්, කුඩාරම් හට් 3ක්, මාලිමාවක් සහ ඩිජිටල් කැමරාවක් හමුවු බවද සාක්ෂිකරු විසින් කොමිසම හමුවේ අනාවරණය කළා.

සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේ එහි ගොඩනැගිල්ලක් පිටුපස පරික්ෂාවට ලක්කිරීමෙදි කලු පැහැති කැන් 10ක් හමුවු අතර ඉන් එකක් හිස්ව පැවතියද අනෙක් 09හිම ඇසිඩ් තිබි හමුවු බවයි.

ඉන් අනතුරුව පරික්ෂක කණ්ඩායම එම ඉඩමට ඇතුළු වන අවස්තාවේ මෙම පුද්ගලයින් විසින් කිසියම් යමක් වලලමින් සිටි ස්ථානය පරීක්ෂාවට ලක්කළ බවත් එහි තිබි ලීටර් 250 ප්‍රමාණයේ නිල් පැහැති බැරල් 03ක හමුවු අතර එවායේ අභ්‍යන්තරයේ සුදු පැහැති කුඩු වර්ගයක් තිබෙනු තමන් දුටු බවද සාක්ෂිකරු අණාවරණය කළා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු එහිදි සඳහන් කළේ මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සාහිද්ට සහ ෂාහිඩ්ට අයත් බවත් තමන් විසින් මෙම ඉඩම බදු දී ඇති බවත් ය.

පැය හතරකට ආසන්න කාලයක් මෙලෙස සාක්ෂි ලබා දීමෙන් පසු මොහමඩ් තස්ලින්ව ජනාධිපති කොමිසමෙන් පිටතට රැගෙන ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button