විශේෂාංග

කොරෝනාවෛරසයේ මුල කොතැන ද? මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කරයි

සුනෙත් පෙරේරා - BBC සිංහල

මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි.

2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද ඔහුගේ දායකත්වය ලැබී ඇත.

ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකයෙකි.

හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව අංශයේ කටයුතු කරන මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටිති.

නව කොරෝනා වෛරසය සහ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් විය. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳවත් ඔහු එහිදී අදහස් පළ කළේය.

නව කොරෝනා වෛරසයේ ආරම්භය කුමක් විය හැකිද?

නව කොරෝනා වෛරසය මතු වුණේ චීනයේ වූහාන් කලාපයෙන්. අප දන්නවා බොහෝ සෙයින් ඊට සමාන වෛරස් වවුලන් තුළ දැකිය හැකියි. ඉතාම කුඩා වවුල් විශේෂයක් වන රයිනෝලෝපස් වව්ලන් බොහෝ සෙයින් මීට සමාන වෛරසයක් රැගෙන යනවා. මිනිසුන් වෙත වෛරසය රැගෙන ආ මූලාරම්භකයා එය වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. කොහොම නමුත් අතරමැදියෙක් විසින් වෛරසය රැගෙන ගියා වීමටත් පුළුවන්. ඒ කියන්නේ වව්ලන්ගෙන් යම් සතෙකුට වෛරසය ශරීරගත වෙනවා. ඒ සතාගෙන් මිනිස්සුන්ට වෛරසය ශරීර ගත වෙනවා. ශීත කාලයේ වන සත්ව මස් ආහාරයට ගැනීම චීනයේ සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඉහත කී ආකාරයට වෛරසය මිනිසුන් වෙත පැමිණීමේ ඉඩක් පවතිනවා. නමුත් ඒ බව මෙතෙක් තහවුරු වී නැහැ.

දැනට ලෝකය පුරා මේ සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද?

මේ මොහොත වන විට වූහාන් සහ එය අයත් හූබෙයි පළාතේ වසංගතය ඉහළ මට්ටමක පවතිනවා. නමුත් චීනයේ වෙනත් පළාත්වලත් රෝගීන් වාර්තා වෙනවා. ආසාදනයට වැඩි වශයෙන්ම බලපා තිබෙන්නේ සංචාරය කිරීම හෝ වූහාන් නගරයේ විසීම. චීනයේ පළාත් ගණනාවකින් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ පළාත් තුළින්ම වෛරසය පැතිර ගොස් ඇත්දැයි යන්න අපට කිව නොහැකියි. චීනයෙන් පිටතත් රෝගීන් වාර්තා වෙනවා. ඒ කියන්නේ චීනයේ සිට, ප්‍රධාන වශයෙන්ම වූහාන් කලාපයේ සිට වෙනත් රටවල් වෙත පැමිණි පුද්ගලයන් තුළ කොරෝනා වෛරසය හඳුනා ගෙන තිබෙනවා. කණගාටුවට කරුණ නම්, දැන් වන විට ඒ සංචාරක රෝගීන්ගෙන් වෙනත් පුද්ගලයන්ටත් වෛරසය ආසාදනය වී ඇති බවට සාක්ෂි ලැබී තිබෙනවා. උදාහරණයක් වශයෙන් මුල් රෝගියාගෙන් තවත් අයෙකුට වෛරසය අසාදනය වී ඇති බව ජර්මනියෙන් වාර්තා වෙනවා. මෙය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්.

සාර්ස් වෛරසය පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්ය මලික් පීරිස් ඇතුළු හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ සඳහා ඔබ ඇතුළු කණ්ඩායම දායක වන්නේ කෙසේද?

දීර්ඝ කාලයක සිට අප කොරෝනා වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් ඉන්නවා. 2003 වසරේදී සාර්ස් වසංගතයක් වශයෙන් පැතිර ගිය අවස්ථාවේ එම වෛරසය හඳුනා ගැනීමට සහ වසංගතය පාලනය කිරීම සඳහා අප සම්බන්ධ වී කටයුතු කළා. ඉන් අනතුරුව මර්ස් වෛරසය මැදපෙරදිග කලාපයෙන් මතු වූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණවලට අප ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. පැහැදිලිවම අපට මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණත්වයක් තිබෙනවා. අපි මේ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නේ එවැනි පසුබිමකයි. පළමුව අප කළ යුත්තේ මේ නව වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පර්යේෂණ පිළිබඳ සොයා බැලීමයි. මොකද මෙය නව වෛරසයක්. ඒ සම්බන්ධයෙන් අපත් තවත් අයත් පර්යේෂණ කර තිබෙනවා. ඒ හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඒ ක්‍රමවේද සඳහා අවශ්‍ය ප්‍රතිකාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ලබා දී තිබෙනවා.

නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකර්මයක් හෝ එන්නතක් සොයා ගැනීමට දල වශයෙන් කොපමණ කාලයක් ගත වනු ඇතිද?

මෙය නව වෛරසයක්. වෛරසයට මුහුණ දිය හැකි විශේෂිත ඖෂධයක් සොයා ගැනීම හෝ එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා මාස ගණනාවක් හෝ නැතිනම් වසර ගණනාවක් වුවත් ගත විය හැකියි. කෙටි කාලයක් ඇතුලත නිශ්චිත ලෙසම එන්නතක් තිබේවි කියා අපිට සිතන්න අපහසුයි. සාර්ස් සහ මාර්ස් සඳහා ප්‍රතිචාර දැක්වූ වෛරස් මර්දන ඖෂධ මේ නව කොරෝනා වෛරස් රෝගීන් සඳහා ඇතැම් විට යොදා ගන්නවා. මොකද මේ වෛරස් අතර සමානකම් පවතිනවා. සායනික වශයෙන් ඵලදායි ද නැද්ද යන්න මත එය රඳා පවතිනවා. අප සහ තවත් කණ්ඩායම් ඒ සඳහා විශාල වශයෙන් කටයුතු කරමින් සිටිනවා. නමුත් මේ වෛරසය පිළිබඳ පළමුව වාර්තා වුණේ ජනවාරි මස ආරම්භයේදි බව සිහි තබා ගැනීම වැදගත්. එය හඳුනා ගත්තේ ජනවාරි මස මැද භාගයේ. ඒ පිළිබඳ පළමුව වාර්තා වී තවමත් මාසයක්වත් ගතව නැහැ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත එක් රෝගියෙක් වාර්තා වී තිබෙනවා. ඇය චීන ජාතික කාන්තාවක්. ජනතාව ඒ සම්බන්ධයෙන් යම් තැති ගැන්මක් දක්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන්. බොහෝ වෙළඳසල්වල මුඛ ආවරණ තොග අවසන් වෙලා. වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?

මේ මොහොත වන විට ශ්‍රී ලංකාව තුළ මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් ඇතැයි කියා මා සිතන්නේ නැහැ. ඔව්, අපි දන්නවා ශ්‍රී ලංකාවෙන් එක් සංචාරක රෝගියෙක් වාර්තා වී තිබෙනවා. නමුත් දේශීය වශයෙන් වෙනත් පුද්ගලයන්ට වෛරසය පැතිර යන බවට සාක්ෂි මෙතෙක් ලැබී නැහැ. ඒ නිසා මේ මොහොතේ මුඛ ආවරණ පැළඳ සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අවංකවම කියනව නම් මේ මොහොතේ ශ්‍රී ලංකාව වැනි රටක මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් මම දකින්නේ නැහැ. නමුත් චීනයේ තත්ත්වය වෙනස්. නමුත් ඉන්ෆ්ලුවෙන්සා සහ නව කොරෝනා වෛරසය වැනි ශ්වසන ආශ්‍රිත වෛරස් රෝගවලින් වැළකී සිටීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි මූලික සෞඛ්‍ය පුරුදු පිළිබඳ සිහියේ තබා ගත යුතුයි. මොකද මේ වෛරස් පැතිර යන්නේ කැස්සෙන් සහ කිවිසුම් යාම මගින්. ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි. අත මතුපිට ගැටීමෙන් වෛරසය ආසාදනය විය නොහැකියි. නමුත් ඇස හෝ නාසය හෝ මුඛය හරහා වෛරසයට ශරීරය තුළට යා හැකියි. ඒ නිසා පොදු ප්‍රවාහන සේවා වැනි සෙනග ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් පසු අත් සේදීම සඳහා ඇති යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතයේ යෙදවීම වැදගත්. එවැනි ස්ථානවලදී ඔබේ ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව සිහි තබා ගන්න. එසේම කැස්ස සහ කිවිසුම් ඇති පුද්ගලයන් අනෙක් පුද්ගලයන්ගේ මුහුණු ඉදිරිපිට එසේ නොකර සිටීමත් වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button