දේශීය

කොරෝනා නිසා වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනකට රැකියා නැතිවන ලකුණු

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් දස දහස් සංඛ්‍යාත පිරිසකට සිය රැකියාව අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

ලෝකය පුරා ව්‍යාප්තව ඇති වසංගත තත්වය හමුවේ සිය ගැනුම් කරුවන් විසින් නව ඇනවුම් සිදු නොකරන බැවින් දැනටමත් මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින තත්වයක් තුළ ආයතන පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවක් උද්ගත වී ඇති බව පවසන නිදහස් වෙළද කලාපයේ හාම්පුතුන්ගේ නියෝජිතයන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ රැකියා පවත්වාගෙන යාම සඳහා මුදල් ලබා දෙන ලෙසයි.

හාම්පුතුන්ගේ නියෝජිතයන් විසින් ආණ්ඩුව සහ වෘත්තිය සමිති නායකයන් සමග අප්‍රේල් 21 දින පැවැත්වු සාකච්ඡාවකදී අනාවරණය කොට ඇති පරිදි තුනෙන් දෙකකටත් වැඩි සේවක සේවිකා පිරිසකට නැවත රැකියා ලබා දිය නොහැකි තත්ත්වයක් ඇත.

නව ඇනවුම් නොලැබීමත්, ඇදිරිනීතිය පනවන කාලය වන විට අඩක් නිම කර තිබු භාණ්ඩ සදහා ඇනවුම් කරුවන් විසින් මේ වන තෙක් මුදල් ගෙවා නොමැති වීමත් නිසා ඉදිරියේදී සේවය ලබා දිය හැකි වන්නේ සමස්ත සේවකයන්ගෙන් සියයට තිහකට අඩු පිරිසකට බව හාම්පුතුන්ගේ නියෝජිතයන් එහිදී කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවේ පවසා තිබේ.

කෙසේ නමුත් නිදහස් වෙළද කලාපයේ සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන වෘත්තිය සමිතියක් වන නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය එහිදී අවධාරණය කර ඇත්තේ සේවකයන්ගේ රැකියා කප්පාදු කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවයි. කම්හල් හිමියන් දැනටමත් සහන කිහිපයකම වාසිය භුක්ති විඳින බව සමිති නායකයන් විසින් පෙන්වා දී ඇත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සේවකයන්ගේ සේවය අවසන් කිරීම කිසිසේත්ම නොකළ යුතු බව කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළ බවද වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් සදහන් කරයි.

ඒ අනුව, ලංකා සේව්‍ය සම්මේලනය, ඇගලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදය, වතු හිමියන් සහ සංචාරක හෝටල් හිමියන් නියෝජනය කරමින් සහභාගි වූ හාම්පුතුන් තම විකල්ප යෝජනා ලබාදීම සඳහා දින තුනක කාලයක් ඉල්ලාගෙන තිබේ.

බදු සහන

සාකච්ඡාව අවසානයේ නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාර්කස් මාධ්‍යවේදීන් සමග පවසා සිටියේ අවම වශයෙන් මාස 6 ක කාලයක් සදහා හෝ සේවකයන්ගේ වැටුප් ගෙවීමට හාම්පුතුන්ට ඇති හැකියාව එහිදී පෙන්වා දුන් බවයි.

රජය විසින් ලබා දුන් බදු සහන, GSP+ සහන ලබා ගනිමින් ආදායම් ලැබු හාම්පුතුන්ට සිය සේවකයන්ගේ මාස තුනක වැටුප හෝ ගෙවීමේ හැකියාව පවතින බවයි ඇන්ටන් මාර්කස් මාධ්‍ය වේදීන් සමග වැඩි දුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගත තත්වයට මුහුණ දීමට පෙර ශ්‍රී ලංකාව තුළ ඇගළුම් යන්ත්‍ර ක්‍රියාකරුවන් හැත්තෑහතර දහසක සේවක ඇබැර්තු පැවැතිය අතර ඒ සදහා මෙරට තුලින් සේවකයන් සොයා ගැනීමේ අපහසුතාවය දක්වා විදෙස් රට වලින් සේවකයන් ගෙන්වා ගැනීම සදහා පාර්ලිමේන්තු කෙටුම් පනත් සකස් කර තිබු බව පෙන්වා දෙන ඇන්ටන් මාර්කස් මාධ්‍යවේදීන්ට එහිදී පෙන්වා දී ඇත්තේ එවැනි පසුබිමක් තුළ සේවයේ නිරතව සිටි සේවකයන්ගේ සේවය අවසන් කිරීමට කිසිසේතම ඉඩ ලබා දිය නොහැකි බවයි.

කොරෝනා වසංගතය තවත් මාස හයක් පමණ ගතවු පසු මුළු ලෝකයෙන්ම තුරන් වනු ඇති බවට විශ්වාසය පල කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පවසන්නේ වසංගතය අවසන් වු වහාම නැවත පෙර පැවැති ආකාරයෙන් ඇනවුම් ලැබෙනු ඇති බැවින් ඒ වන තෙක් සේවකයන් ආරක්ෂා කර ගැනීම සිදු කළ යුතු බවයි.

සේවකයන්ට මැයි මාසයේදීත් නිවසේ රැදී සිටීමට සිදු වනු ඇති බව සදහන් කරන ඇන්ටන් මාර්කස් පවසන්නේ ඔවුන් සදහා ආයතන විසින් වැටුප් ගෙවිය යුතු අතර ජුනි, ජුලි, අගොස්තු, යන මාස සදහා වැටුප් ගෙවීමේ වැඩ පිළිවෙලක් සකස් කරගත යුතු බවයි.

ඇන්ටන් මාර්කස් එහිදී මාධ්‍යවේදීන් හා කියා සිටියේ සේවකයන්ගේ ඉදිරි මාස සදහා පඩි ගෙවීමට හාම්පුතුන් විසින් රජයේ මැදිහත් වීමක් බලාපොරොත්තු වු බවයි.

සමිති කොන්දේසි

එම සාකච්ඡාව තුලදී වෘත්තිය සමිති නියෝජිතයන් විසින් හාම්පුතුන් වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

  1. සේවකයන්ගේ සේවය අවසන් කිරීම හෝ සේවය පසෙක තැබීම නොකළ යුතුය,
  2. සේවකයන් නිවෙසේ සිටින කාල සීමාව තුළ ඔවුන්ට වැටුප් ගෙවිය යුතුය.
  3. පවතින තත්වය හමුවේ කම්කරු නීති වෙනස් නොකළ යුතුය.

ඇන්ටන් මාර්කස් පෙන්වා දෙන ආකාරයට එහිදී හාම්පුතුන් පවසා ඇත්තේ පවතින තත්වය යටතේ සේවකයන්ගේ සේවය අවසන් කිරීම අවසන් පියවර ලෙස සලකා බැලෙන අතර ආණ්ඩුව සහාය ලබා දෙන්නේනම් සේවක වැටුප් ගෙවීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවයි.

ඒ අනුව යෝජනා ඉදිරිපත් කිරීම සදහා හාම්පුතුන් වෙත දින තුනක කාලයක් ලබා දී ඇති අමාත්‍යවරයා ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට පොරොන්දු වී තිබේ.

කම්කරු අමාතාංශයේ පැවැති එම සාකච්ඡාව සදහා කම්කරු අමාත්‍යවරයා, කම්කරු කොමසාරිස් ජනරාල්, කම්කරු අමාත්‍යාශයේ ලේකම්, හාම්පුතුන්ගේ නියෝජිතයන් සහ නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ජාතික වෘත්තිය සමිති සම්මේලනය යන ප්‍රවෘත්ය සමිති හතරේ නියෝජිතයන් එක්ව තිබේ.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 137,478 ක් සේවය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button