දේශීය

හමුදා නායකත්වයෙන් කොරෝනා මෙහෙයුම් කිරීම ගැන ජාත්‍යන්තර විරෝධය

නිල ගැසට් නිවේදනයක් පවා නොමැතිව යුද අපරාධ චූදිත හමුදා සෙන්පතියකු ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙලේ නායකත්වයට පත්කිරීම ජාත්‍යන්තර විරෝධයට ලක් වී තිබේ.

දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව ව්‍යසනයකට මුහුණ දීමේදී හමුදාවට මුල්තැන දී සිදුකරන මෙහෙයුම් කටයුතු වලින් සිදුවන්නේ මානව හිමිකම් මෙන්ම නීතිය හා සාමය අනතුරේ වැටීමයි.

කෝවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ නායකත්වය දරන්නේ හමුදාපති මෙන්ම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. බරපතල මානව හිමිකම් උල්ලංඝන, විශේෂයෙන්ම නඩු විභාගයකින් තොර මනුෂ්‍ය ඝාතන සඳහා විධාන වගකීම දැරීම ඔස්සේ ඔහු සම්බන්ධ බවට තිබෙන විශ්වසනීය තොරතුරු පදනම් කොටගෙන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරටට ඇතුල් වීමට තහංචි පනවන ලද්දේ මේ අවුරුද්දේය.

“ජනාධිපතිවරයා සමග එකම හමුදා රෙජිමේන්තුවේ සේවය කළ යුද අපරාධ චූදිතයෙක් ශ්‍රී ලංකාවේ COVID-19 ප්‍රතිචාරයේ නායකත්වය ගැනීම පාරදෘශ්‍යභාවය, වගවීම සහ අධීක්ෂණය පිළිබඳ ගැටළු මතුකරයි,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා තමන්ද අගුලු ලෑමට යටත්ව හිඳිමින් කියා සිටියාය.

ගජබා සහෝදරත්වය

තොරතුරු රූප සටහනක්ද සහිතව ITJP විසින් ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කර ඇති “ලංකාවේ COVID-19 ප්‍රතිචාරය හමුදාකරණය” හිසින් යුත් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එකට යුද වැදුණු ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු හමුදා සගයන් රජයේ බලසම්පන්න තනතුරු වලට පත් කර තිබෙන ආකාරයද ඔවුන්ගේ නම් ඇතුලත් රූප සටහන් සමගින් දක්වා තිබේ.

“මේ බලසම්පන්න COVID-19 භූමිකාවට සිල්වා පත් කරන ලද්දේ 1989 දෙවැනි සිංහල තරුණ කැරැල්ල තලා දැමීම සඳහා මාතලේ හමුදා මෙහෙයුම් දියත් කළ ගජබා රෙජිමේන්තුවේ පළමු බල ඇණියේ ඔහුගේ ඉහල නිලධාරියා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි,” යි වාර්තාවේ සඳහන් වේ. “ඔවුන්ගේ පාලනය යටතේ තිබූ ප්‍රදේශවල සියගණනක් අතුරුදහන් විය. ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ වලට සම්බන්ධ බවට එක්සත් ජනපද රජය චෝදනා කරන 2008-9 දී ඔහුට සෘජුවම අණදුන් බවට චෝදනා කෙරෙන්නේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි.”

සිවිල් අධිකාරියක්

අර්බුදය කළමනාකරණය සඳහා කිසිදු සිවිල් අධීක්ෂණයකින් තොරව හමුදා නිලධාරීන් පත් කිරීම හෝ COVID-19 රෝගීන් මුස්ලිම් ලෙසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රසිද්ධියේ හැඳින්වීම ශ්‍රී ලංකාවට සුභ පලදායී නොවන බව ITJP වාර්තාව අවධාරණය කරයි.

“සංකීර්ණ මහජන සෞඛ්‍ය සහ බෙදාහැරීම සම්බන්ධීකරණය කළ යුත්තේ සිවිල් සේවයේ පළපුරුදු වෘත්තිකයන් මිස යුද හමුදාව නොවේ.” යි යැස්මින් සූකා පවසා තිබේ. “මනුෂ්‍ය ජීවිත මෙන්ම සමසේ බෙදී යා යුතු මුදල් හා සැපයුම් කන්දරාවක් ද අවදානමට ලක්වී සිටී. අත් අඩංගුවට ගනු ලැබීමේ තර්ජනයකින් තොරව ප්‍රතිචාර මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහජනතාවට ඉඩ තිබිය යුතුය. ප්‍රජා අයිතිවාසිකම් තවත් ඛාදනය කිරීම සඳහා මේ අර්බුදය නිදහසට කරුණක් විය යුතු නැත.”

කොරෝනා වෛරස් අර්බුදයට මුහුණ දීමට ආණ්ඩුව ගන්නා පියවර අධීක්ෂණය කිරීමේ හැකියාව සහිත සිවිල් පුද්ගලයන්ගෙන් සැදුම්ලත්, පක්ෂයකට බර නැති, ස්වාධීන ප්‍රතිචාර කමිටුවක් ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ITJP “වසංගතය හා සටන් වැදීම සඳහා මනාප පරිදි කටයුතු කිරීමට හමුදාවට සහ පොලිසියට ඉඩ දිය යුතු නැත.” යි අවධාරණය කරයි.

හමුදා මෙහෙයුම් වෙනුවට සිවිල් පරිපාලනයක අධිකාරය මෙන්ම මාධ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව ද රටතුල වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය සංවිධාන ද මේ වනවිට රජයට පෙන්වා දී ඇති බව ITJP වාර්තාව සිහිපත් කර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button