දේශපාලන

EPF සල්ලි ඇදීමේ කබ්රාල් සැලසුමට දිනේෂ්ගේ විරෝධය

කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව උදාවන යුගයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයකු ඉදිරිපත් කළ උපාය මාර්ගික සැලසුම් කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේපකර තිබේ.

නව වසංගත ව්‍යප්තිය හමුවේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ රුපියල් බිලියන 2,500 ක් පමණ වන වර්තමාන අරමුදල් ශේෂයෙන් 20% ක් පමණ එම සාමාජිකයන්ට කොන්දේසි විරහිතව සෘජුව ආපසු ලබා දීමට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ආණ්ඩුවට යොජනා කර තිබුනි.

එම ක්‍රමවේදය හරහා රුපියල් බිලියන 500 ක් පමණ මෙරට ආර්ථිකයට අලුතින් එක් කළ හැකි බව හිටපු මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට රජය කිසිසේත් සූදානම් නොමැති බවයි.

එම අරමුදලේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය බැදී සිටින බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුනි.

2015 සිට 2019 දක්වා යහපාලන රජය යටතේ වු වසර 5 ක් තිස්සේ ආර්ථිකය අඛණ්ඩව පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් අර්බුධයට ලක්වු බව පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා පවසා තිබනේ 2019 වසරේදී සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ආර්ථිකය තවදුරටත් අර්බුදයට ලක් වු බවයි.

එම පිරිහීම නතර කොට, ආර්ථිකය නැවත යහපත් අතට හැරවීම සදහා, දැවැන්ත බදු කප්පාදුවක් සහ ණය සහන රාශියක් ලබා දෙමින් 2020 ජනවාරී මාසයේදී ආර්ථිකයට නව උත්තේජනයක් ලබා දෙන්නට නව රජය උත්සාහයක් ගත් බව පවසන අජිත් නිවාඩ් ‌පෙන්වා ‌දෙන්නේ කෝවිඩ් – 19 වසංගතය හමුවේ ඊට බාධා පැමිණි බව පවසයි.

“කොවිඩ් – 19 වසංගතයට මුහුණ දීමට, ඇතැම් දියුණු ආර්ථිකයන් විසින් අනුගමනය කරනු ලබන ආකාරයේ පරිභෝජනය සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා මහජනයාට ලබා දෙන විශාල බදු ආපසු ගෙවීම් හෝ පූර්ණ ප්‍රදානයන් වැනි නව උත්තේජන සැපයීමට, ශ්‍රී ලංකාවට මූල්‍ය අවකාශයක් නොමැත.”

එයට විකල්පයක් ලෙස හිටපු බැංකු අධිපතිවරයා යෝජනා කර තිබුනේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂයෙන් (Members’ Balances) දළ වශයෙන් 20% ක් වන රුපියල් බිලියන 500 ක් පමණ එම සාමාජිකයින්ට කොන්දේසි රහිතව නිදහස් කිරීමයි.

මීට අමතරව, විසිපන් ලක්ෂක පමණ පුද්ගල සමූහයක් අතට මෙම රුපියල් බිලියන 500 ක පමණ ‘නව’ ප්‍රාග්ධනය එකතු වූ විට, එම ප්‍රාග්ධනය පදනම් කර ගනිමින්, ණය දෙන ආයතන වලින් ලබා ගන්නට හැකිවන තවත් ණය අරමුදල් ඔස්සේ එම මුදල තවදුරටත් පුළුල්වී සමහර විට දෙගුණයක්ද විය හැකි බව ඔහුගේ විග්‍රහය විය.

මෙම අතිවිශාල අරමුදල ‘නිදහස්’ කිරීමෙන් සහ එම මුදල් විසිපන් ලක්ෂයක් දෙනා අතට පත් කිරීම මගින් තවත් බොහෝ ප්‍රතිලාභ ජනතාවට සහ ආර්ථිකයට ලැබෙනු ඇති බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයාගේ විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button